ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි !
Monday, 09 October 2023 - 8:12 | Views - 780
ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අද(09) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කර පැමිණෙමින් සිටි අතරතුර ඔහු ගමන්ගත් මෝටර් රථයේ වල් අලියෙකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ අතර, මාස 14කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ.

කොන්ගානිගේ ජෝෂප් මල්සි ජැක්සන් ඇන්තනි උපත ලැබුවේ 1958 ජූලි 08 වන දා රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේයි. ඔහු ශ්‍රී ලංකාවේ සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය දිග්විජය කළ අසහාය නළුවෙක්.

මෙරට ජනප්‍රියතම කලාකරුවකු වන ජැක්සන් ඇන්තනී මෙරට පැවැත්වෙන සෑම ජාතික කලා උලෙළකම, සෑම ජාතික උත්සවයකම නැතිවම බැරි පුද්ගලයෙක්. රංගනය, නරථනය, නිවේදනය යන මේ ත්‍රිත්වයටම එක සේ දක්ෂකම් පෑ අසහාය ශිල්පියා සිනමා පටයක රූගත කිරීමකට ගොස් එන අතරමගදී හදිසි අනතුරකට පත්ව මාස 14ක් රෝහල් සයනයක නිහඬවම සිටියා.

රංගනය සිය ඇඟටම බද්ධ කර ගත් ජැක්සන් ඇන්තනි හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස දහසය වතාවක් දිනා ගෙන තිබෙනවා. ප්‍රධාන වශයෙන් මාධ්‍ය තුනම අතික්‍රමණය කල නළුවෙකු වන ඇන්තනී රංගනයට අමතරව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, ගායනය, තිර රචනය, රූපවාහිනී සත්කාරක, නවකතා රචනය, තීරු රචනය, ගීත රචනය, ඉතිහාසඥ සහ සංචාරක යන අංශවල ද දැක්වූවේ අසහාය කුසලතාවයක්.

බොහෝ දෙනා ඔහුව "ජැක්සන්" ලෙස හඳුනාගෙන සිටිය ද, ඔහුගේ දෙමාපියන් ඔහුව හැඳින්වූයේ "මල්සි" යනුවෙන්. හපුගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මල්සි පසුව ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු ඔහු එහිදී ප්‍රථමයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත්තා. ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතුළත් වුණා.

ජැක්සන්ගේ මුවින්ම පවසන ආකාරයට ඔහුගේ සාර්ථකත්වයේ දැවැන්ත කණුව වුණේ ඔහුගේ ආදරණීය පියාණන්. ඒ, කෝංගනිගේ බෙනඩික්ට් ඇන්තනීයි. මව පොඩිවී කුඹුරේ රොලින් පෙරේරායි. සහෝදරයන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක ජැක්සන් මද්දුමයා වුණා. ඔහුගේ වැඩිමහල් සහෝදරයා මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදියකු ලෙස සේවය කළ හා චරිතාංග නළුවකු වූ සේනක ටයිටස් ඇන්තනියි. ඔහුගේ අනෙකුත් සහෝදරයන් වන්නේ සුදත් ඇන්තනි, සමන් ඇන්තනි සහ මොහාන් ඇන්තනියි.

ජනප්‍රිය නිළියක හා ගායිකාවක වන කුමාරි මුණසිංහ ජැක්සන්ගේ ජීවන සහකාරිය වුණා. ඇය ඔහු සමඟ උරෙනුර ගැටී ඔහුගේ දක්ෂතා පණ ගන්වන්නට ඉමහත් පරිශ්‍රමයක් දැරුවා. එමෙන්ම, රෝගාතුරව සයනය මත උඩුබැලිව නිදන ඔහුට මතකය අවදි කරන්නට ඇය දැරුවේ ඉමහත් උත්සාහයක්.

ජැක්සන්ටත් කුමාරිටත් දරුවන් තිදෙනෙක් සිටිනවා. ඒ, රටක් වටිනා පුතුන් දෙදෙනෙකු සහ දියණියක්. දියණිය මාධවී වත්සලා රූපවාහිනී නිවේදිකාවක්, නිළියක් සහ ගායිකාවක් ලෙස කටයුතු කරනවා. වැඩිමහල් පුත් අකිල ධනුද්ධර ද රූපවාහිනී නිවේදකයෙක්, නිරූපණ ශිල්පියෙක් සහ නළුවෙක්. සජිත අනුත්තර බාල පුතා ද රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ගායක‍යෙක් සහ සම්මානලාභී නළුවෙක්.

ජැක්සන් ඇන්තනී උපතින් කතෝලික‍යකු වුණත් ඔහු බෞද්ධ අධ්‍යයනයට දැක්වූයේ ඉමහත් ලැදිකමක්. ඔහු, ඔහුගේ ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසය පිළිබඳ හසල දැනුම රූපවාහිනී තිරය මත මැනවින් පිළිබිඹු කළ අයෙක්.


ඔහු විශ්වවිද්‍යාල වේදිකාවේ වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. ඉන්පසුව නෙවිල් ඩයස් සුබසිංහගේ ‘‘වාරුවෙන් යන මිනිසුන්’’ සහ ‘‘මානවයෝ’’ මෙන්ම ඊ.එම්.ඞී.උපාලිගේ ‘‘මෙතනින් මාරුවෙනු’’ නාට්‍යයේත් ඔහු රංගනයෙන් දායක වුණා. ඉන්පසුව ‘‘මරාසාද්’’, ‘‘මධුර ජවනිකා’’, ‘‘ලෝම හංස’’, ‘‘ධවල භීෂණ’’, ‘‘ඇත්’’, ‘‘මෝරා’’, වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක ද දස්කම් දැක්වූ ජැක්සන් ඇන්තනීට 'තාරාවෝ ඉගිලෙති' වේදිකා නාට්‍යයන් පසුව සිනමාවේ රන් සීනු හැඬවුණා. එම වසරේ ජාතික නාට්‍ය උළෙලේ හොඳම නළුවා වුණේ ද ඔහුයි.

ඔහු සිනමා කර්මාන්තයට අත්පොත් තැබුවේ 1993 දීයි. ගුරු ගෙදර, චිත්ති, අයෝමා සහ ලොකු දුව යන චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ ජැක්සන් පසුව භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දාහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වැනි චිත්‍රපටවලින් තම රංග ප්‍රතිභාව මොනවට විදහා දැක්වූවා.

රූපවාහිනිය සමඟ ද අත්වැල් බැඳ ගත් ඔහු රූපවාහිනි අතික්‍රමණය කළ මහා රංගධරයකු මෙන්ම හසළ දැනුමින් පිරිපුන් මහා නිවේදකයෙක් ද වුණා. ඔහුගේ ජනප්‍රියම රූපවාහිනි චරිත කිහිපයක් පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්ගරයෝ යන කතාමාලා හරහා ශ්‍රී ලංකාවාසීන්ට දැක ගන්නට හැකි වුණා. මේ නිසා ඔහු සුමති සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ පිටගම්කාරයෝ කතා මාලාවේ ඔහුගේ රංගනය වෙනුවෙන්. එමෙන්ම, තරණය චිත්‍රපටයේ "තංගප්පන්" නම් දුම්රිය මිනිසාගේ චරිතය ඔහුගේ ජීවිතයේත් එක්තරා තරණයක් වුණා. හඳපාන්ගොඩ සේදරමන් ගුරුන්නාන්සේගෙන් නැටුම් ප්‍රගුණ කරමින් ඔහු බව දුක චිත්‍රපටයට සාධාරණයක් ඉටු කරනු ලැබුවා.

1992 දී සිය මංගල ටෙලියට පා තැබූ ජැක්සන් "ඇසළ කළුවර" අධ්‍යක්ෂණය කළා. 1990 දී ‘භූමිකා 7’ නමින් නාට්‍ය උළෙලක ඇන්තනීගේ හොඳම නාට්‍ය හතක් ඇතුළත් වූ අතර එමඟින් විද්වත් රසිකයින්ට ජැක්සන්ගේ පුළුල් පරාසයක රංග කලාව අත්විඳීමට හැකි වුණ බව අතිශයෝක්තියක් නොවෙයි. 2014දී දෙවැනි ටෙලි නාට්‍යය වන ‘‘දස්කොන්’’ අධ්‍යක්ෂණය කළ ඔහු පසුව දේශීය සම්මාන උලෙළ කිහිපයකදීම සම්මාන දිනා ගත් බව නොරහසක්.

ඔහුගේ රංගන දිවිය තුළ සරසවි සම්මාන, ජනාධිපති සම්මාන සහ ඕ.සී.අයි.සී සම්මාන වැනි දේශීය සම්මාන මෙන්ම හොඳම නළුවාට හිමි සම්මාන 20කට වඩා ගත් අග්‍රගණ්‍ය රංගධරයා වන්නේ ජැක්සන් ඇන්තනීයි. ඔහුගේ නම නොකියැවුණු සම්මාන උලෙළක් මෙරට නම් තිබුණේ නැති තරම්.

ඔහු බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කරනු ලැබුවා. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන ‘‘ජුලියට්ගේ භූමිකාව’’යි. විචාරක සම්මාන උලෙළකදී වඩාත් බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඔහුට මේ නිසා හිමි වුණා. පාරාදීසය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් වූ අතර එය විචාරක පැසසුමට ලක් වුණා. "අබා"ත් ඔහුගේ අධ්‍යක්ෂණයක ප්‍රතිඵලයක්. ඔහුගේ අධ්‍යක්ෂණයක් වන "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. 2017 දී ඔහු තවත් ශ්‍රී ලාංකික නිළියක් වූ පියුමි හංසමාලි සමඟ අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ලක්නව් නම් කේරළ සිනමා නිෂ්පාදනයට සම්බන්ධ වුණා.

ඔහුගේ අද්විතීය පෞරුෂත්වයෙන් වේදිකාව ද හැඩ වුණා. ඒ, මහා පෞරුෂත්ව කටහඬ, තාත්වික රංගනය බෙර හඬ, අත් ඔත්තුකාරයා,මෙතනින් මරුවෙනු, ලෝමහංස, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, මහා සමයම, ධවල භීෂණවල මොනවට විදහා දැක්වුණා.

ගීත ගායනයට ද උපන්හපන්කම් දැක්වූ ජැක්සන් ඇන්තනී ක්ලැරන්ස් විජේවර්ධන සමඟින් සිතේ සුසුම් නිවන ගයන, දෑස පියා ගත් කල, දේවතාවන් සිටින දවල්, රෑ තාරකාවෝ, බිරිඳ කුමාරි මුණසිංහ සමඟින් ලන්දේ උකුල උඩ, බණ්ඩාර දෙයියෝ ටෙලි නාට්‍ය තේමා ගීතය සහ පවුලේ සාමාජිකයන් සමඟ අහස පොළොව උහුලනවලු ගීත ගායනා කළා.

එමෙන්ම, 2007 වසරේදී හොඳම කලාකරුවාට හිමි ජනතා සම්මානය හිමිකර ගන්නට ද ජැක්සන් වාසනාවන්ත වුණා.

මීට අමතරව, ඉතිහාස වැඩසටහන් රූපවාහිනී තිර හරහා වසර කිහිපයක්ම ඉදිරිපත් කරනු ලැබුවා.

ජැක්සන් ඇන්තනී රඟපෑ චිත්‍රපට අතරට ගුරු ගෙදර, චිට්ටි, අයෝමා, වීසි දැල, ලොකු දුව, භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි,
අස්වැසුම, අග්නිදාහය, සූරිය අරණ, මිල්ලෙ සොයා, රන්දිය දහර, ගරිල්ලා මාර්කටින්, ධීවරී, කුරුලු පිහාටු, අබා, ද අධ්‍යක්ෂණය අතරට ප්‍රවේගය (2015), ඇඩ්‍රස් නෑ (2015), ධර්ම යුද්ධය (2017) සම්මානනීයත්වයට පාත්‍ර වුණා.

ඉතින්.. අග්‍රගණ්‍ය මහා රංග ධරයාණෙනි... ඔබ මිය ගියේ නැත. මිය ගියේ අපයි. ඔබ සෑමදාම අප සමඟ සිටිනු ඇත. ස්වර්ග රාජ්‍යයේ ඔබ සුවෙන් නිදන්න.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top