ගැබ්බර බිරිඳ ඔසවන් ගිය ඔහු ගැන ඇසුණු කතා ගැන.. ඔහු අවසානයේ කී කතාව..
Saturday, 02 September 2023 - 9:58 | Views - 771
ගැබ්බර බිරිය කර තියන් කිලෝමීටර් 22ක් පයින් ඇවිද ගිය සැමියකු පිළිබඳ හද සසල කළ කතාව  කරළියට ආවේ  2021 ජුනි 13 වැනිදා. 

එයින් වසර දෙකකුත් මාසයකට පමණ පසු යූ ටියුබ් නාළිකා දෙකකින් එළියට ආවේ වෙනස්ම කතා දෙකක්.

ඒ අනුව ඒ තරුණ එක්දරු ස්වාමිපුරුෂයා හා දරුවා තනිකොට බිරිය වෙනත් තරුණයකු සමඟ ගිහින්.දෙවැන්න සුරේෂ් කුමාර එසේ නැත්නම්, එක් දරු පියාගේ කවුරුත් නොදන්නා අසුන්දර චරිතය පිළිබඳව.
 
මේ වීඩියෝ නාළිකා දකින පළමුවැන්න නැරැඹූ ෆේස්බුක් ඇත්තෝ වැඩි වශයෙන් සුරේෂ් කුමාරටත් පුංචි දැරියටත් අනුකම්පා කරමින් දිරිමත් සටහන් තැබූහ.

තවත් කිහිපපොළක් කිලෝමීටර් 22 කතාවට එරෙහිව විවේචනාත්මක සටහන් එකතු කර තිබිණි.

දෙවැනි වීඩියෝවට ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ ප්‍රතිචාර ලැබිණි. ඒ සටහන්හි කිලෝමීටර් 22ක් ගංවතුරේ ඔසවාගෙන කතාව පමණක් නොව, සුරේෂ්කුමාරටද ‍ෙදාස් පවරා තිබුණේ පෙර කී ලෙස ඔහුගේ අසුන්දර ජීවිතය පිළිබඳ හෙළි වූ තොරතුරු සැලකිල්ලට ගනිමිනි.

මේ දෙවැනි වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර තිබුණේ 2021 වසරේදී ඔහු තම බිරියව ඔසවාගෙන ගංවතුරේ ගමන් කරද්දී එම වීඩියෝව රූපගත කරමින් ෆේස්බුක් මතින් බෙදා හැරි ෂෙහාන් මාලකමය. මේ නිසාම ෆේස්බුක් ඇත්තන් ඔහුටද ‍ෙදාස් පවරා තිබුණේ ඒ බොරුව සමාජගත කළ වරදටය.

ෂෙහාන්ට මේ චෝදනාව එල්ල වූයේ ගංවතුරේ බැස බිරිය ඔසවාගෙන වීඩියෝව මුදාහරින ලද කාරණාවට වඩා ඔහු වසර දෙකකට පමණ පසු සුරේෂ්ගේ කළු ජීවිතය ගැන කළ හෙළිදරව්ව සම්බන්ධයෙනි.

දැන් එසේ නම් අප ඒ කතාවට පිළිතුරු දිය යුතුය. ඒ පිළිතුර ලබාදීමට ඉදිරිපත් වූයේද සුරේෂ් කුමාරමය. “මම ගංවතුරේ මගේ බිරියව ඔසවාගෙන ගිය කතාව ෆේස්බුක් එකට දැම්මේ හිනිදුම ෂෙහාන් මහත්තයා. අද ඒ මහත්තයම මගේ වැරැදි ෆේස්බුක් එකට දාලා තිබුණා. ඒකට මගේ අමනාපයක් නැහැ.ඇත්තටම මම ඕනෑම කෙනෙකුට කියනවා ඒ කියන කතා ඇත්ත නම් ඔප්පු කරන්න කියලා. මම මේ දේ කියන්නේ තරහකින් නෙමෙයි.මම මුලින්ම ආදරේ කළේ මම මුලින්ම රස්සාව කළ වත්තේ කෙනකුට. ඒත් නොගැළපීම් නිසා ඒක නවත්තලා මට ඒ වත්තෙන් යන්න සිද්ධ වුණා. කවුරුත් මාව යැව්වේ නැහැ. ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙන්න ගිය නිසා මම එතැනින් ආවා.”

“ඊට පස්සේ තමයි මම චාන්දනීව හඳුනා ගන්නේ. එයාව හඳුනාගෙන දින තුනකින් තමයි චාන්දනීගේ බලකිරීම නිසාම අපි එකට ජීවත්වෙන්න හිතාගෙන වෙනත් පළාතකට ගියේ.
එහෙම ගිහින් අපි ජීවත් වුණේ චාන්දනී කලින් විවාහ වී සිටි කෙනෙක් බව නොදැනයි. අනික ගෑනියකුට පිරිමියකුට පළමු විවාහය අසාර්ථකයි කියලා ආපසු කවදාවත් විවාහ වෙන්න බැරිකමක් නැහැනේ.” ඔහු ඒ කතාව අප සමඟ වැඩිදුරටත් කියන්නට පටන් ගත්තේ මේ විදිහටය.යූ ටියුබ් වීඩියෝ නාළිකාවලට හසු නොවූ එමෙන්ම නොදන්නා බොහෝ දේ මේ තුළින් අපි දැනගත්තෙමු.

සුරේෂ් කුමාර පවසන ආකාරයට 2021 අවුරුද්දට කලින් ඔහු සබඳකම් පැවැත්වූවේ එකම ආදරවන්තියක් සමඟය.

“මම කවදාවත් ගැහැනුන්ව රවට්ටලා නැහැ. ඒ අයගෙන්වත්, කාගෙන්වත් මිල මුදල් අරගෙන වංචා කරලා නැහැ. ඊළඟට මට තවත් චෝදනාවක් කරනවා මම පොඩි ගෑනු ළමයෙක් එක්කත් සම්බන්ධයක් තිබුණා කියලා.ඒ ගෑනු ළමයා මාව හොයාගෙන ආවේ මම ගත කරන තනිකඩ ජීවිතේ නිසා. චාන්දනී මාව දාලා ගියාට පස්සේ තමයි ඇය ආවේ.ඒත් මම කළේ මීගහතැන්න පොලිසියට ගිහින් මේ ගැන කිව්ව එකයි. ඊට පස්සේ පොලිසියට ඒ ළමයව භාර දුන්නා. ඒ අනුව එයාලාගේ මවුපියන් ඇවිත් පොලිසියෙන් ඒ ළමයව අරගෙන ගියා. මේක ගැන හරියට දන්නේ නැති අය මා ගැන වැරැදි විදිහට බැලුවා.
  
ඇත්තටම මම කාගෙන්වත් කිසිම දෙයක් ඒ කාලේ බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් අපේ කතාව මාධ්‍යයෙන් කියැවෙන්න පටන් ගනිද්දි බොහෝ අය දරුවා වෙනුවෙන් උදවු කරන්න ඉදිරිපත් වුණා. මම ඒ උදවු ලබාගන්න අතරතුරේදී පොල් විකුණන ව්‍යාපාරයකුත් පටන් ගත්තා. අන්තිමට ඒ හැම දේම අවුල් වුණේ මගේ පවුල් ජීවිතේ අවුල් වෙන්න පටන් ගත්තහම.

දැන් මම ආපහු රස්සාවක් කරනවා. ඒ දරුවගෙ හෙට දවස වෙනුවෙන්. මම චාන්දනීට වෛර කරන්නේ නැහැ. එයා මොනවා කළත් දරුවගේ අම්මානේ.
අනික මට එක අවස්ථාවකදී ආගම වෙනස් කරලා ගිහින් ලොකු වරප්‍රසාදයක් ගත්නත් පුළුවන්කම තිබුණා. ඒ සඳහා කතා කළා. නමුත් මම අදහන බුදු දහම අත්හැර දාන්න මම කැමැති වුණේ නැහැ. ඒ නිසාම ඒ සම්බන්ධව කතා කරපු අයගෙන් මම අෑත් වුණා. දුරකථන ඇමැතුම්වලට උත්තර දෙන්න ගියෙත් නැහැ. මේ නිසාම යම් ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව මට දැන් තේරෙනවා.”සුරේෂ් යළි යළිත් කියන්නේ ඔහුට විරුද්ධව ඇති චෝදනා පිළිගන්නේ නැති බවය.

ඕනෑම චූදිතයකුට තමන්ට එරෙහිව ඇති චෝදනා සඳහා උත්තර බැඳිය හැකිය. එය පිළිගැනීම හෝ නොගැනීමේ වගකීම අප සතුය. එහෙත් ගැබ්බර බිරිය ඔසවාගෙන ඇගේ ජීවිතය බේරා ගැනීමේ අටියෙන් කිලෝමීටර් 22ක්ම පා ගමනින් ගිය මානුෂික කාරණය අහක දමා ඔහුගේ වැරැදිවලට ‍ෙදාස් පවරන්නට තරම් අප සැහැසි නැත. වැරැදි ඇත්නම් ඒවා සොයා බලා ඔහුට දඬුවම් ලබාදීම නීතිය ඉදිරියේ ඇති කාරණාවකි.

එමෙන්ම අපි එදා ඒ සංවේදී සටහන ලියද්දී මුල් වීඩියෝව ෆේස්බුක් වෙත මුදාහැර තිබූ ෂෙහාන් මාලකත් සුරේෂ් සහ චාන්දනී පදිංචිව සිටි ස්ථානය නොදැන සිටියේය. අපි මේ තොරතුරු සොයා ගත්තේ උඩුගම රෝහල, හිනිදුම රෝහල මෙන්ම නාවික හමුදා නිලධාරීන් පවා සම්බන්ධ කර ගනිමිනි. ඒ වෙද්දී මේ දෙදෙනා ගැන බොහෝ අය දැන සිටියා පමණක් නොව, ඉක්මනින් රෝහල කරා යෑමට උදවු කර තිබිණි.

ඔවුන්ගෙන ලබාගත් තොරතුරුවලදීද හෙළි වුණේ මේ දෙදෙනා ගමන් කළ ඇතැම් ස්ථාන සැලකිය යුතු ප්‍රමාණයක් යටවී තිබුණු බවය. එමෙන්ම කොරෝනා උවදුර හා ගංවතුර උවදුර නිසාම වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී තිබුණු බවය. එවැනි අවස්ථාවක ඔවුන් යම් යම් තැන්වල නැවැතී ගිමන් හරිමින් ගමන් කර තිබිණි.

සාමාන්‍යයෙන් අපේ ගැමි වහරේ මෙන්ම සාමාන්‍ය භාෂාවේදීද නිරන්තරයෙන්ම අපි පාවිච්චි කරන වර්ණනා තුළ අතිශයෝක්තියක් දක්නට ලැබීම ස්වාභාවිකය.

එම අතිශයෝක්ති වදන් යහපත් ක්‍රියාවකට යොදා ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති වී නැත. එහෙත් හැම දේකටම විවේචන ඉදිරිපත් කරන, වපර ඇසින් බලන, පොරවල් වන්නට දඟලන උදවියට නම් මේවා මාර ප්‍රශ්නය. ඔවුන් කිසිදු ක්‍රියාවක ඇති යහපත දකින්නේම නැත.
කෙසේ වෙතත් දැන් දැන් සුරේෂ්– චාන්දනීගේ පලහිලව්ව රටේ ප්‍රධාන ප්‍රශ්නයක් කරගෙන මත පළ කරන හා විවේචන ඉදිරිපත් කරන උදවියගේ ඉලක්කය කුමක්දැයි හරි හැටි පැහැදිලි නැත.

එහෙත් අපට ඇත්තේ එකම ඉලක්කයකි. බලාපොරොත්තුවකි. ඒ හය හතර නොදන්නා කුඩා දැරියට අම්මා තාත්තා දෙපොළගේම ආදරය හා රැකවරණය ලබාදීමය. ඒ සඳහා අප අපටම වාරණයක් දමාගෙන ඉවසීමෙන් කටයුතු කළ යුතුය. චාන්දනීගේ චරිතය ඝාතනය කිරීම හා සුරේෂ්ගේ අලුත් ජීවිතයට මීට පෙර කියූ කෙරූ දේවල් උපයෝගි කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම සුදුසු නැත. ඒ තවත් අවුරුදු දෙක තුනකින් පෙර පාසල් හා පාසල් යන දරුවාට එයින් අවැඩක්, ලැජ්ජාවක් වන තරම හා වෙනත් දරුවන්ගේ උසුළු විසුළුවල තරම හොඳින් දන්නා නිසාය.

මේ පරිසරය තුළ අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ මුද්‍රිත මාධ්‍යයට වඩා විද්‍යුත් මාධ්‍යය හසුරුවන වටපිටාව තුළය. පත්තර පිටුවක් විනාශ වී දිරාපත් වී ගියද අන්තර්ජාලය තුළ ඇති දේ ඒ දරුවාට ජීවිත කාලයටම බලපාන නිසාය.

අවසන් වශයෙන් මෙසේ ලියන්නෙමු. බුදුන් වහන්සේත්, ජේසුස් වහන්සේත් අපට පෙන්වා දී ඇත්තේ වැරැදි කළ අයට මෛත්‍රී කරන ලෙසය. ප්‍රේම කරන ලෙසය. එහෙත් අද මේ දහම් කර උඩ තබාගෙන ඉන්නා අය කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දේවල්මය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
උපුටා ගැනීමකි..  

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top