"අස්වැසුම" දීමනාව - හෙට
Sunday, 27 August 2023 - 15:03 | Views - 812

"අස්වැසුම" සුබසාධන ප්‍රතිලාභීන් ලක්ෂ 15ක් අතරින් නිවැරැදිව තොරතුරු තහවුරු කර ගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා ජූලි මාසයට අදාළ මුදල් හෙට (28) බැංකුවලට බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, තොරතුරු කඩිනමින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා ද දීමනා ගෙවීමට කටයුතු කරන බව ද සඳහන්.
මේ වන විට අභියාචනා හා විරෝධතා සම්බන්ධව සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එය අවසන් වූ වහාම සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවුණු සියලු සමෘද්ධිලාභී පවුල්වලට අභියාචනා කිරීමට ද අවස්ථාව උදා වූ අතර කිසියම් අසාධාරණයක් වූ අය අභියාචනා කමිටු විසින් පරීක්ෂා කරනු ලැබුවා.
මෙතෙක් සහනාධාරලාභීන්ගෙන් නුසුදුස්සන්ගේ නම් පමණක් ඉවත්ව ගොස් ඇති බවත්, කෙසේ වෙතත් සුදුසු පවුලක් අසාධාරණයට පත්ව ඇත්නම් එය නිවැරැදි කිරීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පසුගියදා ප්‍රකාශ කළා.
ආර්ථික අර්බුදය හමුවේ අලුතින් විශාල පිරිසක් දුප්පත්කමට ඇද වැටී ඇති නිසා කලින් දිළිඳු සහන ලබා දුන් පිරිසට වැඩි පිරිසකට මේ අවස්ථාවේ සහන සැලසීමට සිදු වුණ බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මීට අමතරව, ආබාධිත, වකුගඩු සහ වැඩිහිටි යන දීමනා ද සාමාන්‍ය පරිදි පුද්ගලයන් ලක්ෂ 5 කට අධික ප්‍රමාණයකට ලබා දීම පසුගිය දා ආරම්භ වුණා.
Share This Article