සීගිරිය නව නගරය ආසන්නයේ ප්රධාන මාර්ගයේ තිබී පුද්ගල මළ සිරුරක් අද (30) අලුයම සීගිරිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
තියුණු ආයුධයකින් ගෙල කපා දැමීමෙන් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබලෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ආයුධය ද සමඟ අද (30) අලුයම සීගිරිය පොලිසියට පැමිණ භාරවී ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක්ව ඇත්තේ මැල්සිරිපුර ප්රදේශයේ පදිංචි තිදරු පියෙකු වන අතර ඔහු කලක සිට හමුදා සෙබළාගේ බිරිඳ සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ හේතුවෙන් මැල්සිරිපුර ප්රදේශයේ සිට ගුවන් හමුදා සෙබලා නිවසක් කුලියට ගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා ද සමඟ සීගිරිය ප්රදේශයට පදිංචියට පැමිණ ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් දිගින් දිගටම තමන්ට මෙම පුද්ගලයා කරදර කිරීම් හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවයි පොලිසියට භාර වූ ගුවන් හමුදා සෙබලා සහ ඔහුගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙනවා.