රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නාවලපිටිය නගර සභාවේ සභාපතිට ඇප
Wednesday, 06 May 2020 - 14:06 | Views - 586

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු අටදෙනෙකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට හැටන් මහෙස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළා.
නිරෝදායන නීති උල්ලංඝනය කරමින් ගිනිගත්හේන, නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ පිහිටි සංචාරක හෝටලයක් තුල මුදලට සුදු ක්‍රීඩාවේ යෙදුනු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සභාපති ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් පසුගිය 30 වනදා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.
අනතුරුව සැකකරුවන් පසුගිය පළමු වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුනේ.
සැකරුවන් අටදෙනා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඉදිරිපත් කර පී.සී.ආර් පරික්ෂණයකට ලක්කර එහි වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙස හැටන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
අද (06) දින සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ගිනිගත්හේන පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී වාහන දෙක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන නිසා සැකකරුවන් තවත් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකර බන්ධනාගාර නිලධාරින් හරහා නිරෝදායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසයි.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥයින් කියා සිටියේ තම සේවාදායකයින් නිරෝදායන පනත උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවත්, සැකකරුවන් මුදලට සුදු ක්‍රිඩාවේ යෙදුණේ නොමැති බවත්, සැකකරුවන් කාඩ් ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවේ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.
එ අනුව සැකකරුවන් ඕනැම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසටයි සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
දෙපාර්ශවයෙන්ම කරුණු සලකා බැලූ හැටන් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන්ව පී.සී.ආර් පරික්ෂණයක් සදහා ඉදිරිපත් කර එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත්, එම වාර්තාව අනුව සැකකරුවන්ට කොවිඩ් 19 වෛසරය අසාධනය වි නොමැති නිසා සැකකරුවන් යළිත් නිරෝධානයට යොමු කිරිමට අවශ්‍ය නොවන බවයි.
Share This Article