ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් - භාණ්ඩ මිලදී ගන්න අමතර පැය දෙකක්
Tuesday, 24 March 2020 - 13:05 | Views - 599

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ පාරිභෝගික ජනතාව සිය දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මේ වන විට නගර වෙත පැමිණ සිටිනවා.
සෑම නගරයක් පාසාම පාරිභෝගික ජනතාවගෙන් පිරී ඉතිරී පවතින බවටයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
විශේෂයෙන් කොළඹ නගරයේ සියළුම සුපිරි වෙළදසැල් ඉදිරිපිට උදෑසන 6 සිටම දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, බොහෝ ස්ථානවල සෞඛ්‍ය අංශ විසින් දැනුවත් කළ පරිදි එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වාගෙන යාමට කටයුතු කර තිබුණා.
ඇතැම් ස්ථානවල කිසිදු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව ජනතාව කටයුතු කරනු අයුරු දක්නට ලැබුණා.
පිටකොටුව - මැනිං වෙළදපොළ අවට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇත්තේ පාරිභෝගික ජනතාව අද උදෑසන 6 සිටම එම වෙළදපොළට භාණ්ඩ රැගෙන යාම සඳහා පැමිණ තිබීම හේතුවෙන්.
කෙසේ වෙතත්, ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 4 සිට පස්වරු 2 දක්වා මැනිං වෙළදපොළ හරහා පාරිභෝගිකයන්ට එළවළු බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එළවළු තොග ප්‍රවාහනය කිරීම සඳහා මෙන්ම වෙනත් ප්‍රදේශවලට එළවළු රැගෙන යාම සඳහා අවසරය හිමිව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.
මේ අතර, කොළඹ, ගම්පහ සහ තවත් ප්‍රදේශ කිහිපයක ජනතාව චෝදනා කර සිටියේ රජයේ බැංකු ගනුදෙනු සඳහා විවෘත නොකිරීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්වූ බවයි.
සුපිරි වෙළදසැල් සහ අනෙකුත් සිල්ලර වෙළදසැල්වලට අමතරව ඖෂධ අලෙවිසැල් අසළ ද දිගු පෝලිම් දක්නට ලැබුණේ මුඛ ආවරණ සහ අනෙකුත් ඖෂධ ලබා ගැනීම සඳහායි.
Share This Article