"ඔව්.. ඔව්.. මම හොඳින්.. මට ගෙදර යන්න පුළුවන්.." - Covid 19 පැරදූ ඉතාලියේ 95 හැවිරිදි ආච්චි අම්මා කියන කතාව
මාරාන්තික කොරෝනා මේ වෙද්දී ලොව පුරා 16, 505ක පිරිසක් බිලිගෙන අවසන්. එයිනුත් පෙරමුණේ සිටින ඉතාලි රාජ්‍යයේ මරණ සංඛ්‍යාව 6077 ලෙසයි සටහන් වෙන්නේ.
එම සංඛ්‍යාව කොරෝනා උපන් චීනයද ඉක්මවා යාම විශේෂත්වයක්.
ඉතාලියේ මෙම වෛරසයට ගොදුරු වූවන් අතර බහුතරය වයස්ගත පුද්ගලයින් බවයි වාර්තා වුණේ. කෙසේ නමුත්, කොරෝනා පරදවමින්, සම්පූර්ණ සුවය ලැබීමට සමත් වූ ඉතාලියේ වයස්ගත කාන්තාවක් පිළිබඳ පුවතක් ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
95 හැවිරිදි අල්මා ක්ලාරා කෝර්සිනි රෝහල්ගත කර තිබුණේ මාර්තු 5 වන දිනයි.
කෙසේ වෙතත්, "ප්‍රතිවෛරස් ප්‍රතිකාර" නොමැතිවම සම්පූර්ණ සුවය ලැබීමට අල්මාට පුළුවන්කම ලැබීම විශේෂයි. ඇය කොරෝනා පැරදූ වයස්ගතම රෝගීයා බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඇය සම්පූර්ණයෙන්ම සුවය ලැබු තැනැත්තියක් බවට වෛද්‍ය කාර්ය මණ්ඩලයද පුවත්පත් වෙත තහවුරු කළා.
කෝර්සිනි නම් මෙම කාන්තාව ඉතාලි පුවත්පතක් වන ගැසෙටා ඩී මොඩෙනා පුවත්පතට පැවසුවේ මෙවැන්නක්.
"ඔව්.. ඔව්.. මම හොඳින්.. ඔවුන් මාව හොඳින් රැකබලාගත්තා.. ඇත්තටම ඔවුන් ඉතාමත් හොඳ මිනිසුන්... මට දැන් ගෙදර යන්න පුළුවන්.."
ඉතාලි පුවත්පතට අනුව, කෝර්සිනි මහත්මිය රෝහලේ නැවතී සිටින කාලය තුළ 'කාර්ය මණ්ඩලයේ අභිමානය' බවට පත්වූයේ රට තුළ වැඩිවෙමින් පවතින COVID-19 රෝගීන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට උත්සාහ කරමින් සිටීම නිසාවෙනුයි.
Dailymail ඇසුරිනි.
