අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ බවට ජනතාවගෙන් චෝදනා - හිඟයක් නැතැයි රජය කියයි
Monday, 23 March 2020 - 13:26 | Views - 828

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව අද පෙරවරුවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳපොළවලට පැමිණිමත් සමඟ එහි දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
එහිදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් අනුව අනුගමනය කළ යුතු මීටරයක දුර ආරක්ෂා කරමින් පෝලිම්වල සිටීමට කටයුතු කළද ඇතැම් ප්‍රදේශවල ජනතාව එම සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ බවද අප වාර්තාකරුවන් කියා සිටියා.
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාත හැර සෙසු දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය උදෑසන 6ට ඉවත් කෙරුණු අතර එය පස්වරු 2කට යලි පනවන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
ඇතැම් ප්‍රදේශවල ජනතාව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් පවා නොතකමින් භාණ්ඩ මිලදීගන්නා අයුරු දක්නට ලැබුණා.
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි තදබදයක් පැවති බවයි දේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.
වෙළඳුන් සහ ජනතාව වැඩි පිරිසක් ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණීමත් සමඟ ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් තොරව හැසිරීම හේතුවෙන් මෙම තදබදය නිර්මාණය වී තිබූ බවයි දඹුල්ල හිරු වාර්තාකරු කාංචන කුමාර ආරියදාස ප්‍රකාශ කළේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආශ්‍රිතව පාළු ස්වභාවයක් ගත් අතර, එහි තේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව මහනුවර ප්‍රදේශයේද ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳසැල් වෙත එක්රැස්වන ආකාරයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක සඳහන් කළේ.
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලු බැංකු ශාඛා විවෘතව තබන්නැයි ජනාධිපති ලේකම්වරයා බැංකු නිලධාරින්ට දැනුම් දී තිබෙනවා. මේ සඳහා ශාඛා කළමනාකරු ඇතුළු සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගත යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඇඳිරි නීතිය නොමැති අවස්ථාවේදී නිරෝධායන රෙගුලාසි සහ සෞඛ්‍ය පුරුදු උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
මේ අතර කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට සහ උතුර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය අවසන් වන්නේ හෙට උදෑසන 6යි.
එය එදින පස්වරු 2කට යලි පනවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. කෙසේ වෙතත් මුළු දිවයිනට ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Share This Article