නවසීලන්තය ඉදිරි පැය 48 තුළ වැසේ - ඔස්ට්‍රේලියාව සහ කැනඩාවත් ඔලිම්පික් ප්‍රතික්ෂේප කරයි
Monday, 23 March 2020 - 13:11 | Views - 1,226

කොරෝනා වෛරසයට එරෙහිව චීනය සිදුකරන සටන සෙසු රටවලට බලාපොරොත්තුවක් ලබාදෙන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ටෙඞ්රොස් ඇඩනම් පවසනවා.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඇතැම් විශේෂඥ පිරිස් චීනයේ සාර්ථකත්වයට වටිනාකමක් ලබාදීමට එරෙහිව විවිධ මත පළ කරමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ගතවූ දින හතරක කාලය තුළ චීනයෙන් වාර්තාවී ඇත්තේ එක් නව ආසාදිතයෙකු පමණක් වන අතර, එය වූහාන් නගරයේ කොරෝනා වසංගතයේ ආරම්භක අවදියත් සමඟ සසඳා බැලීමේදී කැපී පෙනෙන තත්වයක් වනවා.
කෙසේ වෙතත් චීනයේ උපාය මාර්ග වෙනත් රටවලට, විශේෂයෙන් බටහිර ප්රජාතන්ත්රවාදයට අනුගමනය කළ හැකිද යන්න පිළිබඳ ඇතැම් රටවල් තවදුරටත් ප්‍රශ්න කර සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ප්‍රංශයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සිදුකළ නව සායනික අධ්‍යනයකදී කොරෝනා රෝගීන්ට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ ඇසිත්‍රොමයිසින් භාවිත කර දින 6 ක් තුළ සියයට සියයක සුවයක් ලබාදීමට හැකි බව තහවුරු කර තිබෙනවා.
එමෙන්ම මැලේරියාව සඳහා භාවිත කරන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ ක්ලෝරොක්වීන් මගින් නව කොරෝනා වෛරසයට සාර්ථකව ප්‍රතිචාර දැක්විය හැකි බව දකුණු කොරියාව සහ චීනයද පිළිගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ලොව පුරා රටවල් 192 ක මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූවන් තුන්ලක්ෂ 38,971ක් වාර්තාවී තිබෙනවා.
මරණ සංඛ්‍යාවද 14,689 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර නවසීලන්තයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවීමත් සමඟ ඉදිරි පැය 48ක කාලය තුළ අත්‍යාවශ්‍ය නොවන සේවා නතර කිරීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඞ්න් තීරණය කර තිබෙනවා.
මුළු රටම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කරන බවත්, එසේ නොවුණහොත් නවසීලන්ත වැසියන් දස දහස් ගණනක් මියයා හැකි බවත් ඇය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.
නවසීලන්තයේ නව ආසාදිතයන් 50 දෙනෙකු වාර්තාවීමත් සමඟ මේ වනවිට එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
තායිලන්තයේ නව ආසාදිතයන් 122 කු ගතවූ පැය 24 ක කාලය තුළ හඳුනාගැනීමත් සමඟ එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 721 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
බැංකොක් නුවර සුපිරි වෙළඳසැල් හැර සියලු වෙළඳසැල් ඊයේ සිට අප්‍රේල් 12 වනදා දක්වා දින 22 ක කාලයක් සඳහා වසා තැබීමට බැංකොක් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රූපලාවන්‍යාගාර, ක්රීඩාගාර මෙන්ම වෙළඳ මධ්‍යස්ථාන වසා දැමෙනු ඇති.
එම නියෝග කඩකරන්නන්ට ඇමරිකානු ඩොලර් 3,029 ක දඩ මුදලක් සහ වසරක සිර දඬුවමකටද ලක්කරන බවයි බැංකොක් ආණ්ඩුකාරවරයා දැනුම්දී ඇත්තේ.
එමෙන්ම ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද අට දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 425 ක් ලෙසයි දැක්වෙන්නේ.
මේ වනවිටත් ඉන්දියාවේ නවදිල්ලි, මුම්බායි, කල්කටා, චෙන්නායි ඇතුලු නගර 80 ක් වසා දමා ඇතත් තවමත් බොහෝ පිරිසක් එම සීමාකිරීම් බරපතල සැළකිල්ලට ගෙන නොමැති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ සීමා කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති උපදෙස් බරපතල ලෙස සැළකිල්ලට ගෙන තමන්ද ආරක්ෂාවී තම පවුලද රැකගන්නා ලෙසයි.
මේ අතර පිලිපීනයේ අද දිනයේ නව කොරෝනා මරණ 8 ක් වාර්තාවී ඇති අතර, එරට මුළු මරණ සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඇමරිකාවේද නව මරණ 33 ක් වාර්තාවී ඇති අතර, මේ වනවිට එරට මුළු මරණ සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ සාමාජිකයෙකු වන රෑන්ඞ් පෝල් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජික සගයෙකු වන මයික් ලී සහ මිට් රොම්නි යන අය දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමුකර තිබෙනවා.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු සාප්පු සංකීර්ණ සහ වෙළඳසැල් සති දෙකක කාලයක් වසා දැමීමට එරට රජය පියවර ගත්තා.
එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ යාමත් සමඟයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම පියවර ගනු ලැබුවේ.
Share This Article