නවදිල්ලිය ඇතුලු ඉන්දියාවේ නගර 80 ක් වසා දැමේ - නිව්යෝක් නගරයේ වෛද්‍ය සැපයුම් හිඟයක්
Monday, 23 March 2020 - 9:54 | Views - 1,182

ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව 350 දක්වා ඉහළ යාමත් සමඟ නවදිල්ලි අගනුවර, මුම්බායි, කල්කටා, චෙන්නායි ඇතුලු නගර 80ක් මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම නගරවල සියළුම පොදු ප්‍රවාහන සේවා, වෙළඳසැල් මෙන්ම දේශසීමාවන් ද වසා දමා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
එම නගරවල පුද්ගලයන් 4 දෙනෙකුට වඩා එක්රැස්වීම් පොලීසිය විසින් තහනම් කර ඇති අතර, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවස්ථාව සලසා දී තිබෙනවා.
ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් හමුවූ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇය ඊයේ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ඒ අනුව ඇය නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ සහයකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඇය ද ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
එමෙන්ම ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෛද්‍ය සැපයුම් හිඟයක් ඇතිවිය හැකි බවට නගරාධිපති බිල් ද බ්ලේසියෝ අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව ඉදිරි දින 10 තුළ නිව්යෝක් නගරයේ වසංගත තත්ත්වය දරුණු විය හැකි බවත්, වෛද්‍ය සැපයුම් ලබාගැනීමට අපොහොසත් වුවහොත් ජනතාව මිය යා හැකි බවත් ඔහු ප්‍රකාශ කර ඇති බවයි බී බී සී පුවත් සේවය සඳහන් කළේ.
නිව්යෝක් ප්‍රාන්තය ඇමරිකාවේ කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර, ඇමරිකාව පුරා මේ වනවිට ආසාදිතයන් 31,057 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ මරණ 390 ක් වාර්තාවන පසුබිමකයි.
එමිරේට්ස් ගුවන් සේවය ලොව පුරා සිය මගී ගුවන් සේවා මාර්තු 25 වන දා සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ ජාත්‍යන්තර ගුවන් ගමන්වලට එල්ල වූ බලපෑම් හමුවේ මෙම පියවර ගැනීමට සිදුවූ බවයි එම ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ සභාපති ෂෙයික් අහමඞ් බීන් සායිද් ප්‍රකාශ කර ඇත්තේ.
සංචාරක විශ්වාසය යළි ඇති වන තෙක් මගී ගුවන් සේවා ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයකට තමන් පත්ව සිටින බවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා තවදුරටත් සාමාන්‍ය පරිදි සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම නව කොරෝනා මරණ 394ක් වාර්තාවීමත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා එරට තුළ පනවා ඇති හදිසි තත්ත්වය අප්‍රේල් 11 වනදා දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවෙන් විමසීමක් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ලොව පුරා රටවල් 192 කින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂ 36,075 දෙනෙකු වාර්තාවී ඇති අතර, මරණ සංඛ්‍යාවද 14,613 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපයට සාපේක්ෂව ගතවූ පැය 24ක කාලය තුළ ඉතාලියේ මරණ සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබෙන අතර, එම සංඛ්‍යාව 654 ක් ලෙසයි දැක්වෙන්නේ.
ඒ අනුව ඉතාලියේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 5,476 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article