අත්‍යාවශ්‍ය ආහාර ප්‍රමාණවත් පරිදි වෙළඳපොළේ - රජය දැනුම් දෙයි
Monday, 23 March 2020 - 8:02 | Views - 514

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම නතර කොට ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ මුළුමනින්ම අනුගත වන ලෙසට රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජනයා ගැවසෙන පොදු ස්ථාන භාවිතා කිරීමේදී එකිනෙකාට මීටරයක් තරම් පරතරයක් පවත්වාගැනීම වඩාත් සුදුසු ලෙසයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසටද රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අද උදෑසන ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල ජනයා එදිනෙදා අවශ්‍යතා සඳහා වෙළඳපොළට පැමිණෙන බැවින් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කළ යුතු වනවා.
වෙළදපොළට පැමිණීමේදී එක් පවුලකින් එක් අයෙකු පමණක් පැමිණීමෙන් ඒකරාශී වන පිරිස අඩු කර ගැනීමට සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සඳහා එය වඩාත් සුදුසු බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන කාලසීමාව තුළ තම ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පවසනවා.
අදාළ කාලසීමාව තුළ නිවසින් බැහැරව යන සෑම අවස්ථාවකදීම මීටරයක දුර පවත්වාගෙන ගැනීම සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ප්‍රමාණවත් පරිදි දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර ඇති බැවින් හිඟයකින් තොරව ඒවා ලබා ගැනීමේ හැකියාව පවතින බවටයි රජය දැනුම් දෙන්නේ.
අවශ්‍ය තරම් ආහාර තොග දිවයින පුරා බෙදා හැර ඇති බැවින් හිඟයකින් තොරව භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව පවතින බවයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කළේ.
මේ අතර, හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ලෙස ඛනිජ තෙල් සැපයුම කිසිදු බාධාවකින් හා හිඟයකින් තොරව සිදු කෙරෙන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට දිවයිනේ සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි පිරවුම්හල් 480ක් විවෘතව පවතින බවයි.
Share This Article