මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 81ක් - කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
Monday, 23 March 2020 - 7:56 | Views - 921

දැනට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 81 දෙනෙකු මෙරටින් වාර්තා වන අතර, ඉන් 74 දෙනෙකුම මේ වන විට අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබනවා.
තවත් 7 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ වැලිකන්ද මූලික රෝහලේයි.
එමෙන්ම, ආසාදිත රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් ඔවුන් අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයින් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.
ඉන් 31 දෙනෙකු විදේශිකයින් වනවා.
මේ අතර උණ සහ උගුරේ ආසාදනයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 4 දෙනෙකු ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රැදවියන් දෙදෙනෙකු දහවල් රෝහල් ගත කර ඇති අතර, අනෙක් දෙදෙනා රෝහල් ගතකර ඇත්තේ රාත්‍රී 7ට පමණයි.
රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන් මේ වන විට කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් සඳහා වෙන් කර ඇති වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි.
එමෙන්ම රෝගී අවශ්‍යතාව මත රුධිරය සහ රුධිර සංඝටක දැනට ප්‍රමාණවත් තරම් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කළා.
එහි අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ ඇඳිරි නීතිය සහ කොරෝනා වෛරසයේ අවදානම ඉදිරියටත් පැවතුණහොත් ඊට මුහුණදීම සඳහා රුධිරය එක්රැස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් අද පැවැත්වෙන බවයි.
Share This Article