මෙරට කොරෝනා ආසාදිතයන් 77න් 48 ක්ම විදේශගතව පැමිණි අය බව හෙළිවෙයි
Sunday, 22 March 2020 - 7:57 | Views - 1,050

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 77 දෙනාගෙන් 48 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම ආසාදිත රෝගීන්ගෙන් 27 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.
අනෙක් දෙදෙනාට රෝගය ආසාදනය වූ ආකාරය පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් පවතිනවා.
මෙම රෝගීන් 77 දෙනාගෙන් 69 දෙනෙකුම ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන අතර, රෝගීන් හතරදෙනෙකු අනුරාධපුර මහ රෝහලේත්, තුන්දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේත් ප්‍රතිකාර ලබන බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.
මීට අමතරව දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කර ඒ අනුව කටයුතු කිරීම සඳහා උපදෙස් ලබාදී තිබෙනවා.
දැනට ශ්‍රී ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන 22ක් තුළ නිරෝධානයනයට ලක්වන පුද්ගලයින් 3063 ක් සිටින අතර, ඉන් 31 දෙනෙකු විදේශිකයින්.
මෙම වෛරසය ආසාදනය වූ සහ ආසාදනය වූ බවට සැකපිට පරීක්ෂාවන්ට ලක්වන පුද්ගලයන් සඳහා මේ වනවිට රෝහල් 30 ක් සූදානම් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කළා.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
එහිදී මෙම අවස්ථාවේ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඉදිරියේදී සෞඛ්‍ය අංශවලට සහය ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
මේ අතර වරාය පරිශ්‍රය තුළට රාජකාරි කටයුතුවලට පිවිසීමට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සේවයේ නියුතු සියලු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ වරාය පරිශ්‍රය තුළ රාජකාරි හා ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නා රථවාහන, පැය හයකට පසු විෂබීජහරණය කරනු ලබන බවයි.
එබැවින් වරායට පැමිණෙන සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත නොගත යුතු අතර, වරාය පරිශ්‍රය තුළ සියලුදෙනා සඳහා ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවත්, විෂයභාර අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Share This Article