දඹදිව සිටි වන්දනාකරුවන් පිරිසක් දිවයිනට -විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්
Thursday, 19 March 2020 - 7:58 | Views - 1,003

කොරෝනා වෛරසය මෙරටට තුළ පැතිරයාම පාලනය කිරීමේ අරමුණින් කටුනායක ගුවන්තොටුපලට මගී යානා පැමිණීම අද අලූයම හතරේ සිට ලබන 25 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා නතර කර තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපල ශ්‍රී ලංකාවට පැමිණෙන මගී යානා සඳහා වසා දැමීමට පෙර , ගුවන් යානා හතරක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ, දඹදිව වන්දනාවේ ගිය පිරිස ඇතුලූ ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙනයි. කටුනායක ගුවන් තොටුපල කාර්යභාර කළමනාකරු සඳහන් කළේ දිල්ලි, චෙන්නායි සහ මුම්බායි සිට මෙම ගුවන් යානා මෙරටට පැමිණ ඇති බවයි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයින්ට සහ විවිධ අවශ්‍යතා සදහා විදේශ ගත වන දේශීය ගුවන් මගීන්ට කිසිදු කිසිදු බාධාවකින් තොරව ගුවන් තොටුපල ඔස්සේ පිටව යාමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවෙන් කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 50 දෙනෙකු මේ වනවිට වාර්තාවනවා.
කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 212 දෙනෙකු මේ වනවිට දිවයිනේ රෝහල් 17 ක ප්‍රතිකාර ලබන අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඞී.එච්. රෝහලේ 81 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකපිට කරාපිටිය රෝහලට ඇතුලත් කෙරුණු ප්‍රංශ ජාතිකයෙකු ඊයේ අයි.ඞී.එච්. රෝහල වෙත මාරුකර යවා තිබුණා.
විදේශගතව ඇති ශ්‍රී ලාංකිකයන්ගේ වීසා දීර්ඝ කිරීම ගැන සළකා බලන ලෙස විදේශ සබඳතා අමාත්‍යාංශය විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ, බටහිර කලාපීය තානාපතිවරුන් පිරිසක් සමඟ ඊයේ පැවති හමුවකදියි.
විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්ගේ වීසා කාලයද දීර්ඝ කිරීමට රජය කටයුතු කර ඇති බවයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට කටයුතු සළසන ලෙසයි ඔහු වැඩිදුරටත් මෙරට සිටින විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ.
ඒ අනුව එම රටවල තානාපතිවරු විසින් සඳහන් කර ඇත්තේ මෙම ඉල්ලීම පිළිබඳව තමන්ගේ රාජ්‍යයන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර කොවිඞ් - 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට එරෙහි සටනට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සමඟ සියලූ දුරකථන සේවා සපයන්නන් හා එක්ව නිවැරදි තොරතුරු සන්නිවේදනය කරගැනීම සඳහා ඍජු කෙටි දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.
මෙම නව දුරකථන අංක මගින් මෙම වෛරසය පිළිබඳ සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාගැනීමත්, එය පැතිරීම පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට හැකියාව පවතිනවා.
ඒ අනුව 117 සහ 1999 කෙටි දුරකථන අංකයෙන් කොවිඞ් 19 වෛරසයට අදාළ විමසීම් හෝ සහය ලබාගත හැකියි.
135 කෙටි දුරකථන අංකය මගින් රජයේ නිල දැන්වීම් සහ පූර්ව ආරක්ෂාවන් පිළිබඳව තොරතුරුද 1390 කෙටි දුරකථණ අංකය මගින් වෛරසය පිළිබඳ තොරතුරු සහ වෛද්‍යවරයෙකු සමඟ කථා කිරීමට අවස්ථාව සැළසෙනවා.
Share This Article