නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක, විවෘතව පවතින පෞද්ගලික ආයතනවලට දැනුම් දීමක්
Tuesday, 17 March 2020 - 13:10 | Views - 62,654

රට තුළ පවතින වත්මන් තත්ත්වයත් සමඟ රජය විසින් පෞද්ගලික අංශය සඳහා ද නිවාඩුවක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබියදී පෞද්ගලික ආයතන විවෘතව පවතින්නේ නම් ඒ පිළිබදව කම්කරු සබඳතා දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ රජය විසින් නිවාඩු ලබාදී ඇති අවස්ථාවක පෞද්ගලික ආයතන විවෘතව තබන්නේ නම් ඊට හේතුව පැහැදිලි කර ලිඛිතව කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බවයි.
රජය විසින් අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ ද ඊට බැංකු, අත්‍යාවශ්‍ය සේවා සහ දිස්ත්‍රික් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළත් වන්නේ නැහැ.
අද සිට දින 3ක කාලයක් රජය විසින් විශේෂ නිවාඩු ප්‍රකාශයට පත් කළේ ද කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීමේ අරමුණෙන්.
මේ වන විට රට තුළ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඊයේ දිනයේදී පමණක් කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් විශේෂත්වයක්.
එමෙන්ම තවත් සැක සහිත පුද්ගලයින් 204 දෙනෙකු දිවයිනේ රෝහල් 16ක ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
මේ අතර, දැනට කොරෝනා ආසාදිත වූ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන අංගොඩ අයි.ඞී.එච්. රෝහලට අමතරව පොළොන්නරුවේ පිහිටි වැලිකන්ද රෝහල ද කොරෝනා ආසාදනය වූ රෝගීන් පමණක් රදවා තැබීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ මූලික අවශ්‍යතා සහ පහසුකම් මේ වන විටත් යුද හමුදාවේ මැදිහත්වීමෙන් සකස් කරමින් සිටින බව සඳහන්.
එමෙන්ම, යුරෝපය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ලියාපදිංචි වීමේදී පොලීසියට පැමිණීම අත්‍යවශ්‍ය නොවන අතර පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මාර්තු 1 වන දාත්, 15 වන දාත් අතර කාලය තුළ යුරෝපය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණ ඇත්නම්, ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් ලියාපදිංචි වන ලෙසටයි.
මේ අතර, කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු පියවර පෙළක් වෛද්‍ය විශේෂඥයන්ගේ සම්මේලනය මගින් යෝජනා කර තිබෙනවා.
වෛරසය මැඬලීම සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබදව ප්‍රසාදය පළ කරන එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ එම කාර්යයන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කරන බවයි.
එමගින් ඉදිරිපත් කරන පළමු යෝජනාව වන්නේ මෙරට සියළුම ගුවන් තොටුපළ සහ වරාය හරහා මගීන් හුවමාරු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයකට අත්හිටුවීමයි.
රජය මගින් විශේෂ දින 3ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට අනුකූලව අද සිට ලබන 19 වන දා දක්වා දුම්රිය ගමන් වාර 86ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. දිනපතා ක්‍රියාත්මක වන කාර්යාල දුම්රිය ද ඊට ඇතුළත් වන බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.
මේ අතර, ඓතිහාසික සහ පුරාවිද්‍යා ස්මාරක භූමි දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා ඉදිරි දින තුන තුළ වසා තැබීමට බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, එම වැඩබිම්වල සේවකයන් පුරාවිද්‍යා භූමි සංචාරකයන් සඳහා විවෘත කිරීමට පවතින දුෂ්කරතා දැනුම් දීමෙන් අනතුරුවයි.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.
අනෙක් සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් දෙදෙනා පෙරේදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ තවත් 40 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කොවිඞ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශය අද සිට 20වන දා දක්වා වසා තැබෙන බව නිවේදනය කරනු ලැබුවා.
සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගේ සහ කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව වෙනුවෙන් එම පියවර ගනු ලැබූ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.
රජය මගින් විශේෂ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වීසා නිකුත් කිරීමේ සියළුම සේවාවන් ද අද ක්‍රියාත්මක නොවන බව එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මේ අතර, අද මධ්‍යම රාත්‍රියෙන් පසු කටාරය, කැනඩාව හෝ බහරේනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට ඉදිරි සති දෙක තුළ රටට ඇතුළුවීමට අවසර හිමි වන්නේ නැහැ. අදාළ රටවල පසුගිය දින 14 ගත කළ පුද්ගලයන්ට ද එය අදාළ වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.
Share This Article