ලොව පුරා කොරෝනා මරණ 7000 ඉක්මවයි - ඇමරිකාව එන්නතක් අත්හදා බලයි
Tuesday, 17 March 2020 - 7:53 | Views - 2,054

ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 7000 ඉක්මවා ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව ද එක්ලක්ෂ 80,000 ඉක්මවා තිබෙනවා.
ඉතාලියේ පමණක් ගත වූ පැය 24 තුළ නව කොරෝනා මරණ 349ක් වාර්තා වූ අතර, ඒ අනුව එරට මුළු මරණ සංඛ්‍යාව 2158 දක්වා ඉහළ යනවා.
පසුගිය බ්‍රහස්පතින්දා සිට ඉතාලියේ කොවිඞ් නයින්ටීන් මරණ දෙගුණයක් වීම විශේෂත්වයක්.
එමෙන්ම, මීට දින 15කට පෙර ඉතාලියේ සිටි 15,000ක් වූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 28,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දින දෙක තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 700කට අධිකයි.
ඉතාලියට අමතරව ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් රැසක්ම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා සමාජ සම්බන්ධතා සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉතාලිය සහ ස්පාඤ්ඤ මගින් ක්‍රියාත්මක කර ඇති නිරෝධායන ක්‍රියාවලියට සමගාමීව පුද්ගල සංචරණය සීමා කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ද නව පියවර ප්‍රකාශයට පත් කළේ ප්‍රංශය සෞඛ්‍යමය යුද්ධයකට එළඹෙන බව පවසමින්.
ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යුරෝපා සංගමයේ පිටත දේශසීමාවන් අද සිට සංචාරකයන්ට වසා තැබෙන බවයි.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද එරට ජනතාවට දැනුම් දුන්නේ සියළු බ්‍රිතාන්‍යවාසීන් අන් පුද්ගලයන් සමඟ අත්‍යාවශ්‍ය නොවන සබඳතා අත්හළ යුතු බවයි.
මැලේසියාව තම රටේ වැසියන්ට රටින් නික්මීම සහ විදේශිකයන්ට රට තුළට ඇතුළුවීම සති දෙකකට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
එරට අග්‍රාමාත්‍ය මුහුයුද්දීන් යාසින් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළේ එම පියවර බදාදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.
එය කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ජන සංචරණය සීමා කිරීමේ තවත් පියවරක් ලෙසයි හඳුන්වා ඇත්තේ.
නව පියවර අනුව ලබන 18 වන දා සිට 31 වන දා දක්වා සියළුම මැලේසියානු වැසියන්ට රටින් නික්මීම තහනම් වනවා.
විදේශිකයන්ට එම කාලය තුළ මැලේසියාවට ඇතුළුවීම ද තහනම්. කෙසේ නමුත් නැවත රටට පැමිණෙන මැලේසියානුවන් සෞඛ්‍ය පරීක්ෂාවකට මෙන්ම දින 14ක නිරෝධායනයක ද ලක් කරන බවයි එරට රජය නිවේදනය කළේ.
මීට අමතරව මැලේසියාව පුරා සියළුම මහජනයා ගැවසෙන සියළුම උත්සව සහ ආගමික හා සංස්කෘතික වැඩසටහන් ද අවලංගු කෙරෙනවා.
සියළුම පාසල්, ව්‍යාපාරික ස්ථාන සහ ආගමික ස්ථාන ද වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නතක මානව අත්හදා බැලීම් ඇමරිකාව ආරම්භ කර තිබෙනවා.
එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ සියැටල් හිදී එම එන්නත මිනිසුන් වෙත ලබාදීම ආරම්භ කළ බවයි.
එය කොරෝනා වෛරසයට එරෙහි ගෝලීය සටනේ බලාපොරොත්තුවක් ලෙසයි සැලකෙන්නේ.
යුරෝපය විසින් ද එන්නතක් නිෂ්පාදනය කරමින් සිටින අතර, එය තමන්ට ලබාදෙන ලෙස ඇමරිකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා.
කෙසේ නමුත්, කවර ආකාරයේ හෝ කොරෝනා වෛරස් එන්නතක් වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීමට තවත් වසරක් හෝ වසර එක හමාරක් පමණ ගත වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.
Share This Article