කිරි අම්මලාගේ දානයට සම්මාදමේ ගිය කත නිවසකින් ලක්ෂ 25ක් කොල්ලකාලා
Friday, 13 March 2020 - 9:04 | Views - 1,741

කිරි මවුවරුන්ගේ දානය සඳහා සම්මාදන් එකතු කරන මුවාවෙන් මීගමුව වෑබඩ පාරේ නිවසකට ගොස් එම නිවසින් රුපියල් ලක්ෂ 25 ක් සොරා ගැනීම පිළිබඳ චෝදනා ලබා එම මුදලින් රුපියල් 20 ලක්ෂයක් සමග අත්අඩංගුවට ගත් සීදුවේ පදිංචි 62 හැවිරිදි විවාහක කතකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය එම සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත් කළ සැකකාරිය වූයේ සීදුව මූකලංගමුව පදිංචි 62 හැවිරිදි විවාහක කතකි.
මෙහි පැමිණිල්ල මෙහෙයවූ මීගමුව පොලිසියේ පො. කෙ. (5388) නවරත්න බණ්ඩාර මහතා විසින් සැකකාරියට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙහි සැකකාරිය අදාළ මුදල සොරකම් කර ඇත්තේ මීගමුව වෑබඩ පාරේ පිහිටි නිවසකිනි.
පසුව ඇය සොරාගත් මුදලින් රුපියල් ලක්ෂ 5 ක් තම අනියම් සැමියාට ලබාදී ඇයට අවශ්‍ය රන්බඩු මිලදී ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ. ඉතිරි ලක්ෂ 20 ක මුදල ඇගේ නිවසේ හාල්මුට්ටිය තුළ සඟවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය විසින් සොරාගත් මුදලින් මිලදී ගත් රන් ආභරණ මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඊට ආධාර අනුබල දුන් ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවත් පො. කො. (53883) නවරත්න බණ්ඩාර මහතා උසාවිය හමුවේ පැවසීය. විමර්ශන අවසන් නොවීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
Share This Article