ලාංකික කොරෝනා ආසාදිතයා ගිය තැන් සොයයි
Wednesday, 11 March 2020 - 10:40 | Views - 7,034
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා ඉතාලි සංචාරක කණ්ඩායම සමඟ ගමන් ගත් ස්ථාන සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දැනටමත් ඊට අදාළ තොරතුරු එක්රැස් කරමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කොරෝනා වෛරසය මෙරට දී ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ පස්වරුවේ  හඳුනා ගැනුණු අතර, 52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්.

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට දින දෙකකට පෙර අයි.ඩී .එච්. රෝහලට ඇතුලත් කෙරුණු අතර මොහු සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වුණා.

මෙම පුද්ගලයා ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට සේවය සපයා තිබෙනවා.

කෙසේ වෙතත්, ඉතාලි ජාතික සංචාරක කණ්ඩායම පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව තුළින් කොරෝනා වෛරසය වැලදුණු එක් රෝගියෙකු පමණක් මීට පෙර වාර්තා වූ අතර ඇය චීන ජාතික කාන්තාවක්. අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුව පූර්ණ සුවය ලබා සිය මව්රට බලා පිටත්ව ගියා.

ඊට අමතරව ඉතාලියේ සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාවට කෙරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ අතර ඇය මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව කොරෝනා වෛරසය වැළඳුණු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සොයාගනු ලැබූ අතර ඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර, දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 450 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා පොළොන්නරුව - කන්දකාඩු සහ මඩකලපුවේ පිහිටි බැටිකලෝ කැම්පස් වෙත යොමු කර තිබෙනවා.

යුද හමුදාවේ මැදිහත්වීමෙන් බස් රථ 17කින් අදාළ ස්ථාන වෙත මොවුන් පිටත් කර හැරුණු බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණ නිරෝධායනයට ලක් කෙරෙන පිරිස් වලට අවශ්‍ය උපරිම පහසුකම් ලබාදී ඇති බවයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය සියළුම පියවර ගැනීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි.  

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකළා.

කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ශ්‍රී ලාංකික ජනතාව ද ඒ පිළිබද දැඩි අවදානය යොමු කොට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවටයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ. ඒ සඳහා අනුගමනය කළ යුතු ආරක්ෂිත උපදෙස් මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන්නා.

මේ අතර, නව කොරෝනා වෛරසය ලොව රටවල් 115ක් පුරා ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව එක්ලක්ෂ 19,132ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 4284ක්. වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 65,765ක්  බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.

චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ඇරඹි මෙම වෛරසය හේතුවෙන් එම රට තුල පමණක් මරණ 3162ක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාවක් 80,956ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.  

චීනයට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 631ක්.

වෛරසය ආසාදිතයින් 10,149ක් හමුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා නව එන්නතක් නිෂ්පාදනය කිරීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා ඉතාලියේ ප්‍රධාන පෙළේ සමාගමක් එරට රෝහලකට විශාල මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා ඇති අතර මිය ගිය සංඛ්‍යාව 58ක් දක්වා ඉහල ගියා.

විදෙස් වාර්තා සඳහන් කළේ රට තුළ පැවැත්වීම නියමිතව තිබූ සංගීත ප්‍රසංග බොහොමයක් සහ දේශපාලන රැස්වීම්ද තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 56ක් සහ තායිලන්තයෙන් ආසාදිතයන් 53ක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දකුණු කොරියාවේ දින 5කට පසු යළි කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා එරට රජය විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කළ අතර ඒ හේතුවෙන් මෙම වෛරසය ආසාදනය වූවන් වාර්තා වන සංඛ්‍යාව පහළ ගොස් තිබුණා.

දකුණු කොරියාවෙන් රෝගීන් 7755ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 54ක් දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

මේ අතර, ජපානයේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 59ක්. ඒ අනුව ජපානය තුළ වෛරසය ආසාදිත වූවන් 581 දෙනෙකු ඇති අතර, 10 දෙනෙකු මිය ගොස්  ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, එමෙන්ම  ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක සහන පැකේජයක් හඳුන්වා දීමට ද එරට රජය පියවර ගෙන තිබෙනවා.

එරට තුළ වෛරසය ආසාදිතවූවන්ට සහ ආසාදිත වූ බවට සැක කෙරෙන පුද්ගලයින්ට වීඩියෝ තාක්ෂණය හරහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඊට අමතරව ඉතාලියේ සංචාරය කිරීමට  ඕස්ට්‍රේලියාව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top