171 ක් කන්දකාඩු සහ මඩකලපුව කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානවලට
Tuesday, 10 March 2020 - 19:50 | Views - 604

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සඳහා ප්‍රමාණවත් පහසුකම් පොළොන්නරුව - කන්දකාඩු සහ පූනානි පිහිටි බැටිකලෝ කැම්පස් ආයතනයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පවතින බව යුද හමුදාව පවසනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ එලෙස නිරෝධායන කටයුතු සඳහා යොමුකරන පිරිස් දින 14 ක් එහි රැඳී සිටිය යුතු අතර, ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් යුද හමුදාවේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීම යටතේ ලබාදෙන බවයි.
අද අලුයම දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි මගීන් 171 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා පූනානි සහ කන්දකාඩු මධ්‍යස්ථානවලට යොමු කෙරුණා.
ඉන් මගීන් 24 දෙනෙකු කන්දකාඩු වෙත රැගෙන යනු ලැබුවේ ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානයකින්.
අනෙක් පිරිස බස්රථවලින් අදාළ ස්ථානවලට රැගෙන ගියා.
තවත් පිරිසක් අද පස්වරුවේ දිවයිනට පැමිණිමට නියමිත අතර, ඔවුන්ද එම මධ්‍යස්ථානවලට යොමුකිරීමට නියමිතයි.
මේ අතර අද අලුයම පැමිණි පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාම සඳහා සූදානම් වන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේදී උණුසුම් තත්වයක් ඇතිවුණා.
ඒ දින 14 ක කාලයක් නිරෝධායන කටයුතුවලට යොමුකරන පිරිසගෙන් ආහාර සඳහා රුපියල් 7,500 ක මුදලක් අය කරන බවට විදේශ රටවල සිට පැමිණි කිහිපදෙනෙකු චෝදනා කිරීමත් සමඟයි.
කෙසේ වෙතත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ නිරෝධායන කටයුතුවලට ලක් කරන කිසිදු පුද්ගලයෙකුගෙන් මුදල් අයකිරීමක් සිදු නොවන බවයි.
එමෙන්ම අදාළ පිරිස් නිරෝධායන කටයුතු සඳහා යොමුකරන්නේ ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වය ආරක්ෂා කිරීමට මිස ඔවුන් අපහසුතාවට පත් කිරීමට නොවන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
මේ අතර ඉතාලියේ සිට මීට දින 10 කට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඉතාලි ජාතික යුවළක් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ ඔවුන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.
කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කළ හැකි රෝග ලක්ෂණ නොපවතින බවයි.
ඉතාලි රාජ්‍යය නිරෝධායන කලාපයක් බවට පත් කිරීමත් සමඟ එරටින් පිටවීමේදී බාධා මතුව ඇතැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනෙවිරත්න සඳහන් කළා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇතැම් ගුවන් සමාගම්වලට අයත් යානා ඉතාලියට පැමිණීමද මේ වනවිට සීමාවී ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රට රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම වඩා සුදුසු යැයි යෝජනා කරන බවයි.
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන් එක්ලක්ෂ 14,595 ක් මේ වනවිට ලෝකය පුරා රටවලින් වාර්තාවනවා.
ඉන් වැඩිම සංඛ්‍යාවක් චීනයෙන් වාර්තාවන අතර, එය 80,756 ක්.
මියගිය සංඛ්‍යාව 4028 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉතාලියෙන් මරණ 463 ක් වාර්තාවනවා.
මැදපෙරදිග කලාපයේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ඉරානයටයි.
එරටින් මරණ 237 ක් වාර්තාවන අතර, පවතින තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 70,000 ක් පමණ තාවකාලික පදනම මත නිදහස් කිරීමට ඉරාන රජය පියවර ගත්තා.
කෙසේ වෙතත් දකුණු කොරියාවේ මෙම වෛරසය ආසාදිතයන්ගේ සහ වාර්තාවන මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.
මේ අතර උතුරු කොරියානු සෙබළුන් 200 ක් පමණ කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති අතර, තවත් 400 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් එම තොරතුරු ප්‍රතික්ෂේප කරන බවයි උතුරු කොරියානු රජය නිවේදනය කළේ.
මේ අතර මෙම වසංගත තත්ත්වයත් සමඟ ගෝලීය ආර්ථිකයට ඇමරිකානු ඩොලර් ටි්රලියන 2 ක පමණ පාඩුවක් සිදුවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.
Share This Article