කොරෝනා මරණ 4000 ඉක්මවයි - කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි, 181ක් නිරෝධානයන මධ්‍යස්ථාන වෙත
Tuesday, 10 March 2020 - 13:08 | Views - 2,112
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමේදී කිසිදු මගියෙකුගෙන් මුදල් අය කිරීමක් සිදුනොකරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ඔවුන්ට සියළුම පහසුකම් ලබාදීමට දැනටමත් කටයුතු කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් අද අලූයම පැමිණි ගුවන් මගීන් 181 දෙනෙකු මඩකලපුව - බැටිකලෝ කැම්පස් හි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත මුල් වරට යොමු කරනු ලැබුවා.

ඊට දකුණු කොරියාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු, කොරියානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඉතාලියෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු අයත්.

ඔවුන් අද කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් බස් රථවල නංවා බැටික්ලෝ කැම්පස් වෙත රැගෙන යනු ලැබුවා.

කෙසේ වෙතත්, එහිදී නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරන මගීන්ගෙන් දින 14ක ආහාර වේල් 3 සඳහා  රුපියල් 7500ක  මුදලක් අය කරන බවට දැන්වීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ.

කෙසේ නමුත් එලෙස ගුවන් මගීන්ගෙන් අය කිරීමක් සිදුනොකරන බවයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේ.

මේ අතර, බැටික්ලෝ කැම්පස් ආයතනය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට එරෙහිව ආගමික වතාවත්වල නිරත වී හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන ලෙස කාන්තන්කුඩි නගර සභාවේ සභාපති එස්.එච්.එම්. අස්ෆර් ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත්, කාන්තන්කුඩි නගරයේ ව්‍යාපාරික ස්ථාන මේ වන විට විවෘතව පවතින අතර එවැනි හර්තාල් ව්‍යාපාරයක්  ක්‍රියාත්මක නොවන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ වන විට කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 463 දක්වා ඉහළ ගොස් ඇති ඉතාලිය මේ වන විට සිය නිරෝධායන පියවර පුළුල් කර තිබෙනවා.

ඉතාලි අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි කියා සිටියේ සේවය සහ පවුලේ හදිසි අවශ්‍යතා සඳහා හැර කිසිවෙකුට සංචාරය කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව ද 9172 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඞ් නයින්ටීන් වෛරසය නිසා ඉතාලිය ගෙන ඇති මෙම දැඩි පියවර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට ද බලපෑමක් එල්ල කරන බවයි මිලානෝ නුවර සිටින හිරු විශේෂ වාර්තාකරු ඉන්ද්‍රජිත් ශ්‍රීමාල් සඳහන් කළේ.

කොරෝනා වෛරසය පැතිර ගිය ද කිසිදු රටකට මෙරට ශ්‍රමිකයින් යැවීම අත්හිටුවා නොමැති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා.

කෙසේ වෙතත්, වැඩි වශයෙන් මෙරට ශ්‍රමිකයින් සේවය කරන මැදපෙරදිග සහ දකුණු කොරියාවේ තත්ත්වය පිළිබද නිරන්තර අවදානයෙන් පසුවන බවයි එහි සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.වී. වන්සේකර කියා සිටියේ.

මේ අතර, ලොව පුරා හාරදහසකට අධික පිරිසකට මරු කැදවූ කොවිඩි නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයේ කේන්ද්‍රය වන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයට චීන ජනාධිපති ෂී - ජින්පින් අද පැමිණියා. ඒ, පසුගිය ජනවාරි මාසයේ වූහාන් නගරයේ සීමාවන් වසා දැමීමෙන් පසු ප්‍රථම වතාවටයි.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් මරණ 4016ක් සිදුව ඇති අතර, ඉන් 3024ක්ම වාර්තා වන්නේ හුබෙයි ප්‍රාන්තයෙන්.

ලොව පුරා ආසාදිත සංඛ්‍යාව ද එක්ලක්ෂ 13,754 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 80754ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

ජනාධිපති ෂී - ජින්පින් වූහාන් නගරයට පැමිණියේ එහි කොරෝනා මරණ සංඛ්‍යාව සහ නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව පසුගිය සති කිහිපය තුළ කැපී පෙනෙන ලෙස පහත වැටීමෙන් අනතුරුවයි.

හුබෙයි ප්‍රාන්තයේ අගනුවර වන වූහාන් නගරයට චීන ජනාධිපතිවරයා පැමිණියේ එහි ක්‍රියාත්මක වසංගත වෛරස් රෝගය වැළැක්වීමට සහ පාලනය කිරීමට ගෙන ඇති පියවර අධීක්ෂණය කිරීමට බව ෂිංහුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කළා.

ජනාධිපති ෂී - ජින්පින් එහි මෙහෙයුම්වල නිරත වෛද්‍ය කාර්ය මණ්ඩල, හමුදා නිලධාරීන්, ප්‍රජා සේවකයන්, පොලීසිය, රෝගීන් සහ ප්‍රදේශවාසීන් ද මුණගැසී තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසයෙන් ඇති වූ ආර්ථිකමය බලපෑම මෙන්ම සෞදි අරාබිය සහ රුසියාව අතර පවතින මිල යුද්ධය හේතුවෙන් සීග්‍රයෙන් ඉහළ ගිය තෙල් මිල ආසියාකරයේ වෙළද කටයුතුවලදී අද උදෑසන සුළු වශයෙන් ප්‍රකෘතිමත් වී තිබෙනවා.

ඊයේ දිනයේ තෙල් මිල සියයට 30කට වැඩි ප්‍රමාණයකින් පහත වැටුණේ 1991 ගල්ෆ් යුද්ධයෙන් පසු විශාලතම මිල පහත වැටීම සලකුණු කරමින්.

එහෙත් අද උදෑසන බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සියයට 6.6කින් ඉහළ ගොස් ඩොලර් 36ක් ලෙස සටහන් වී ඇති අතර, ඇමරිකානු ඩබ්ලිව් ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 6.1කින් ඉහළ ගොස් ඩොලර් 33ක් ලෙස සටහන් වුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top