'ගෙදර ආවේ නැත්නම් දරුවන්ව මරාගෙන මැරෙනවා'- සිය දරු දෙදෙනා අමානුෂිකව ඝාතනය කර දිවි තොර කරගත්, සමන්ගේ පාපතර ක්‍රියාව
Tuesday, 10 March 2020 - 12:45 | Views - 15,271

තුන් හැවිරිදි හා සය හැවිරිදි වියෙහි පසුවන තම දරුවන් දෙදෙනාගේ ගෙල තියුණු පිහියකින් කපා මරණයට පත්කොට එම මළසිරුරු අසලම ගෙල වැලලාගෙන සියදිවි නසාගත් තිස් දෙහැවිරිදි පුද්ගලයා කලක සිට සිය විවාහක බිරිය සමඟ හිත් අමනාපයකින් පසු වූ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ගොකරැල්ල පොලිස් වසමට අයත් මැද්දෙකැටිය වැව්සිරිගම උදාගම්මානයේ නිවෙසක් තුළ මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් සිටියේ තිස්දෙහැවිරිදි දේති රූපයලාගේ සමන් කුමාර වික්‍රමසිංහ පියා, සය හැවිරිදි දේති රූපයලාගේ තනුජ ඕශාන් පුතා සහ තෙහැවිරිදි දේති රූපයලාගේ නිකිනි සෙහන්සා දියණිය යන එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකි.
මොවුන් තිදෙනා පෙරේදා (8දා) සවස 3.00ත් 4.30ත් අතර කාලයේදී මෙසේ මරණයට පත්ව ඇති බවට අනාවරණය වී තිබේ.
සියදිවි නසාගෙන ඇති සමන් කුමාර වික්‍රමසිංහ නමැත්තා කුලියට පොල් කැඩීම සිය ජීවිකාව කරගෙන ඉතා සාමකාමීව විසූ පුද්ගලයකු බවද අනාවරණය වී ඇත. සියදිවි නසාගත් පුද්ගලයා විසින් මරා දමා ඇති තනුජ ඕශාන් මරණකරුගේ වැඩිමහල් පුතු වන අතර ඔහු කු/ඉ/ උඩතම්මිට විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි ඇත. මරා දමා ඇති තුන්හැවිරිදි අනෙක් දරුවා මරණකරුගේ බාල දියණිය බවද කියති.
කුඩා දරුවන් දෙදෙනාගේ ගෙල කපා දැමීම සඳහා භාවිත කළේ යැයි සැක කෙරෙන තියුණු මුවහත සහිත පොල් පිහියක්ද එම මෘතදේහ අසල වැටී තිබියදී පොලිසිය විසින් සොයා ගැනිණි. එය සියදිවි නසා ගත් පුද්ගලයා ඔහුගේ රැකියාව සඳහා භාවිත කළ ආයුධයක් බවද හෙළිව තිබේ.
ඔවුන් ජීවත් වූ කුඩා නිවෙසේ ඉදිරිපස කාමරයේ ඇඳක් මත මරා දැමුණු දරු දෙදෙනාද ඒ අසල බාල්කයක ගැටගසන ලද තංගුස් ලණුවකින් ගෙල වැලලාගෙන දරුවන්ගේ පියා ද මිය ගොස් තිබිණි.
කලක් තිස්සේ පැවැති ආර්ථික අපහසුතා මඟහරවා ගැනීමට යැයි කියමින් මරණකරුගේ බිරිය මීට මාස කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සොයාගෙන ගොස් ඇති අතර සැමියා සිය දරු දෙදෙනා සහ තවත් ඥාතිවරුන් දෙදෙනකුත් සමඟ වැව්සිරිගම නිවෙසේ පදිංචිව සිට ඇත. එහෙත් ඔහු සිය බිරිය කොළඹ ප්‍රදේශයේ රැකියාව කිරීම පිළිබඳව එතරම් කැමැත්තකින් පසුව නැති බවද කියති.
ඔහු කිහිපවිටක්ම සිය බිරියට කොළඹ රැකියාව අත්හැර නිවෙසට විත් වාසය කරන ලෙස ඉල්ලීම් කළද ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස් වීම් ඇති වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
සිද්ධියට දින කිහිපයකට පෙර ද අදාළ කාන්තාව කොළඹ සිට නිවෙසට පැමිණ ආපසු යන අවස්ථාවේදී සැමියා ඊට විරුද්ධව වී ඇති බවත් එහෙත් එම විරෝධතාව නොතකා ඇය ආපසු කොළඹ යෑම පිළිබඳව සැමියා කනස්සල්ලෙන් පසුවී ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවී ඇති බව ගොකරැල්ල පොලිසිය කියයි.
සිද්ධිය වූ දින පෙරවරුවේ මරණකරු විසින් සිය බිරියට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත් ඇය වහා රැකියාව අත්හැර නිවෙසට නොපැමිණෙන්නේ නම් තමා දරු දෙදෙනා මරණයට පත් කොට තමාද සියදිවි නසාගන්නා බවට දැනුම් දී ඇතැයි ඉදිරිපත් වූ සාක්ෂිවලදී හෙළිවී තිබේ.
ඉරිදා සවස 6.30ට පමණ අසල්වැසි ඥාති කාන්තාව මෙම සිද්ධිය දැක ගොකරැල්ල පොලිසියට දැනුම්දී ඇති අතර ඒ අනුව වහාම සිද්ධිය වූ ස්ථානයට ගිය ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර ගනේගොඩ මහතා ඇතුළු නිලධාරීන් විසින් කුරුණෑගල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි නිශාන්ත හේරත් මහතා දැනුවත් කොට ඔහුගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂක නිල්ධාරීන් කැඳවා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබිණි.
සිද්ධිය වූ ස්ථානයට ඊයේ (9දා) උදෑසන පැමිණි කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ වසන්ත ගුණවර්ධන මහතා විසින් සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලද අතර මෘතදේහ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කුරුණෑගල පළාත් බද මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබාගන්නා ලෙසද සිද්ධිය පිළිබඳ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 19 වැනි දින දක්වා කල් තබන ලෙසද දන්වනු ලැබිණි.
ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර ගනේගොඩ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බැසිල් විජේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සැරයන්වරුන් වන වාසල (33480), නිශාන්ත (58633), සහ කොස්තාපල්වරුන් වන රුක්මන් (58679), සහ ජයවර්ධන යන නිලධාරීහු සිද්ධියට පිළිබඳව පරීක්ෂණ කටයුතු මෙහෙයවති.
(ලංකාදීප පුවත්පතේ පළව තිබූ ලිපිය පහතින් බලන්න.)
සමන් කුමාරගේ මිත්තනිය කියු දේ
"මියගොස් සිටින්නේ මගේ පුතාගේ වැඩිමල් පුතා සහ ඔහුගේ දරුවන් දෙන්නා. මගේ පුතායි එයාගේ බිරිඳයි මැරිලා දැන් අවුරුදු ගාණක් වෙනවා. මැරුණ සමන්ට තවත් තවත් පුතෙකුයි දුවෙකුයි ඉන්නවා, දුව නම් විවාහකයි. එයා වෙන ගමක පදිංචියට ගිහින් දෙවැනි පුතා ආබාධිත කෙනෙක් ඒ් දරුවායි මමයි මැරුණු සමනුයි මේ ගෙදර තමා පදිංචි වෙලා හිටියේ. සමන් රස්සාවට කළේ පොල් කඩන එකයි ඒත් එක්කම තැඹිලි විකුණන්නත් යනවා. එයාට පොඩි ලොරියකුත් තිබුණා, සමන් බැඳලා හිටිය දුවගේ ගෙදරින් තමා මේක අරන් දීලා තිබුණේ. මාස දෙකක් වාරිකය ගෙව්වේ නෑ කියලා ඒ්කත් ෆිනෑන්ස් එකෙන් ඉස්සුවා. පුතා ඒ ගැනත් දුකින් හිටියේ. ඒ් නිසා පුතා බැඳලා හිටිය දුව ගල්කිස්ස පැත්තේ රස්සාවකට ගියා. පුතා එක්කම තමා මුලින් දුව වැඩ කරන තැනට ගියේ. ඊට පස්සේ සති දෙකකට කලින් වගේ දරුවන්ව බලන්න එයා ආවා. එදා දෙන්නා අතරේ බහින් බස්වීමක් වෙනවාත් ඇහුණා. මම ඒවාට මැදිහත් වෙන්න ගියේ නැහැ. පහුවෙනිදාම දුව වැඩට යන්න ඕනේ කියලා ගියා. ඊට පස්සේ එයා ගෙදරට ආවේම නෑ. පුංචි පුතාව මේ අවුරුද්දේ තමා ඉස්කෝලේට දැම්මේ, එයාව යැව්වෙත් ත්‍රිවීල් එකේ. සමන් පොල් කඩන්න ගියාම පොඩි දුව මගෙත් එක්ක තමා හිටියේ. මේ සිද්ධිය වෙන්න කලින් පුතා එයාගේ බිරිඳට කතා කරලා''උඹ ගෙදරට ආවේ නැත්නම් මම දරුවෝ දෙන්නාගේ බෙල්ල කපලා මරලා මමත් මැරෙනවා" කියලා දුවට කෝල් කරලා කියලා තියෙනවා..."
"මේ සිද්ධිය සිදුවෙද්දි මම ගෙදර හිටියේ නැහැ. ආබාධිත පුතාත් ළග ගෙදරකට ගිහින්. මම පහට විතර ඇවිත් බලද්දි ගෙදර කිසිම සද්දයක් තිබුණේ නෑ. ආබාධිත දරුවාගෙන් ඇහුවා අනිත් අය කොහෙද කියලා. එයා බයෙන් වගේ '' බබ් බබ් '' කියාගෙන මැද කාමරේට අත දික් කර කර මොකක්දෝ කිව්වා. මට ඒක තේරුම් ගන්න බැරි වුණාම මම කාමරයට එබිලා බැලුවා. එතකොට තමා මේ විපත දැක්කේ. හපෝයි මට ඒ දිහා බලන්නත් බැරි වුණා. දුක දරාගන්න බැරිව මම හයියෙන්ම කෑගැහුවා. මගේ සද්දය ඇහිලා අහළ පහළ අය ඇවිත් බලලා තමා මට කීවේ මේ විප්පත්තිය. සමන් පුතා කියපු විදිහටම මේ විනාශය කරලා..."
සමන් කුමාර ගැන ග්‍රාමසේවක කියු දේ
"මෙයාට සමෘද්ධියත් තිබුණා. ඒකෙන් ණය ගන්නේ නැතිව පෞද්ගලික ආයතනවලින් ණය අරන් තිබුණා. ඒවා ගෙවන්න බැරිව ණය උගුලකට හිර වෙලායි හිටියේ. එයාගේ බිරිඳත් එක්ක එකතු වෙලා කුඩා ලොරියක් ගෙවීමේ ක්‍රමයට අරන් තිබුණා. ඒකෙන් තැඹිලි විකුණන එකත් එයා රස්සාවක් විදිහට කළා. ලොරියේ වාරිකය ගෙවාගන්න බැරි වුණ නිසා මාස දෙකකට කලින් ෆිනෑන්ස් එකෙන් ලොරියත් උස්සලා තිබුණා. මම කිහිප සැරයක්ම සමන්ට කිව්වා මේ විදිහට ණය අරන් හිර වෙන්න එපා කියලා නමුත් එයා ඇහුවේ නැහැ. සමන්ගේ බිරිඳ අවුරුදු තුනකට කලින් රටත් ගිහින් හිටියා. ආයෙත් මෙයා රට යන්න උත්සහ කළා පොඩි දරුවෙක් ඉන්න නිසා මම ග්‍රාමසේවක නිර්දේශ වාර්තාව දුන්නේ නෑ. ඊට පස්සේ එයා ව්‍යාජ වාර්තා හදාගෙන රට යන්න උත්සහ කරද්දී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට අරන් තිබුණා. ඊට පස්සේ එයාට හිරේත් ඉන්න වුණා. මේ සිද්ධියෙන් පස්සේ තමා මේ කාන්තාව ගල්කිස්ස පැත්තේ ගෙදරකට වැඩට ගිහින් තිබුණේ. පුවත්පත් දැන්වීමකට අනුව වැඩට ගියා කියලයි ආරංචියි. මේ වගේ දෙයක් සිදු නොවි තියෙන්න තිබුණා. අඹුසැමි යුවල අතර නිතර නිතර ආරවුල් තිබුණා කියලා මට කිහිප සැරයක්ම වාර්තා වුණා. පවුලේ තිබුණ ආරවුල් නිසාත්, ණය ප්‍රශ්න නිසාත් මේ වගේ දෙයක් කරන්න ඇති කියලයි හිතෙන්නේ..."
ලංකාදීප - පුෂ්පකුමාර ජයරත්න
Share This Article