ලොවක් බිය ගැන්වූ කොරෝනා භීතිය මැද, මෙලොව එළිය දුටු පුංචි යූ බබාගේ සංවේදී කතාව
Sunday, 08 March 2020 - 9:28 | Views - 678

ඒ පෙබරවාරි මාසයේ එක්තරා දිනයක්. චීනයේ සුෂෝ (Suzhou) නගරයේ රාත්‍රී අහස, අන්ධකාරයෙන් වැසී තිබුණා. ඒ වන විටත් චීනය වෙළා ගනිමින් සිටි කොවිඩ් 19 හෙවත්, කොරෝනා නිසා විදීවල වාහනවල අඩුවක් දකින්නට ලැබුණා.
මේ අතරතුර කොරෝනා නිසා විදී බැසීමට හෝ නොහැකි වූ යුවළක් සිය 2 හැවිරිදි පුත්‍රයා සමඟ මහල් නිවාසයක හුදකලා වී සිටියා.
බෙන් වැන් ඕවර්මයර් (Ben Van Overmeire) සහ මියෝ ගොටෝ (Mio Goto) නම් මේ යුවළට සිය දෙවැනි දරුවාගේ ආගමනය දැකගැනීමට හැකි වුණේ භයානක කොරෝනා පුපුරා යාම මධ්‍යයයේ වීම ඉතාමත් සංවේගජනක කතාවක්.
නින්දක් නොඑන තැන බෙන් සිය බිරිය ගැන හිතේ කරදරයෙන් සිටියේ ඇය ගැබිණියක්ව සිටි නිසාමයි. හිස්ව ඇති විදී, රටම කතා කරන කොරෝනා, ඔවුන්ට ගෙන දුන්නේ මහත් බියක්.
සාමාන්‍ය පරිදි ජීවිතය ගත කරන්නට ඔවුන් ගත් උත්සහය සාර්ථක වූයේ ද නැහැ.
"අපි බයෙන් හිටියේ කොරෝනා වලට අපි නිරාවරණය වේවි කියලා. ඊට අමතරව එකතු කරගත්ත ආහාර ප්‍රමාණවත් වේවිද කියලා.." බෙන් එසේ සඳහන් කරනවා.
ඊළඟට මේ යුවළ කල්පනා කළේ සිය දරුවාට උප්පත්තිය දිය හැකි තැනක් ගැනයි. විකල්පයක් ලෙස ෂැංහයි නම් වූ මාතෘ රෝහලක් පමණක් ඔවුන්ට නුදුරින් තිබුණා. නමුත් එය වඩා වැඩි දුරක පිහිටා ඇති බව ඔවුන් දැන සිටියා.
අවසානයේ ගොටෝ සිය නිවසේදී දරුවා ප්‍රසූත කිරීමේ අවස්ථාවක් ගැන තීරණයකට එළඹියා. (එය ඔවුන් වෙත තිබුණු එක් විකල්පයක් පමණයි.) ඔවුන්ට ඒ සඳහා උපකාර කළ හැකි හෙද වෘත්තියේ යෙදෙන මිතුරෙකු සිටියත්, කොරෝනා නිසා එම මිත්‍රයාද රට හැර ගොස් සිටියා.
දැන් ඔවුන්ට කිසියම් හෝ බලාපොරොත්තුවක් ඇද්ද?
අවසානයේ... ඔවුන්ට ඉතිරි වූ එකම විකල්පය වූයේ නගරයේ පළමු කොරෝනා රෝගීයා ඇතුළත් කළ සුෂෝ කොව්ලූන් රෝහල යි.
බෙන් සිය බිරියට රෝහලට ගෙන යන්න සිතුවත් එය පහසු කාර්යයක් වූයේ නැහැ. ඒ ඔවුන්ට ඒ සඳහා වාහනයක් හෝ නොතිබූ නිසාවෙනුයි.
කෙසේ හෝ මේ යුවළ සිය මිතුරන්ගේ ලැයිස්තුව පිරික්සා බැලුවේ මෝටර් රථයක් හිමි කාටද යන්නයි. ඒ අනුව නිදි මරගාතේම ඔවුන්ගේ පිහිටට පැමිණියේ "සාක් ෆ්‍රෙඩ්මන්" නම් මිතුරා යි. (මට අනුව ඔහු මේ කතාවේ වීරයෙක්.)
ඔහුගේ "ටොයොටා කොරොල්ලා" රථය ඇඳිරි නීතිය පැනවුණූ විදී දිගේ වේගයෙන් ඇදුණා.
රෝහලට ගිය ගොටෝ "ස්තුතියි ඔබ යන්න.." කීවද සාක් ෆ්‍රෙඩ්මන් තව මිනිත්තු කිහිපයක් රැඳී සිටිමට හා ඇගේ කටයුතු වලට උපකාර කිරීමට අවශ්‍ය බව පැවසුවා.
"ඔහුත් පියෙක්. ඔහුට ඉන්නවා 4 හැවිරිදි පුංචි පුතෙක්. මට දුක හිතුණා ඔහු ගැන. යම් හෙයකින් මගේ පිහිටට ඇවිත් කරදරයක් වුණොත් කියලා.. ඒ වෙනකොටත් කොරෝනා නිසා අපි බයෙන් හිටියේ.." ගොටෝ එසේ කියනවා. (මේ සියලු දේ සිදුවන්නේ කොරෝනා භීතිය රටේම මහත් කලබලයක් ඇති කරමින් තිබූ මොහොතකයි. ඒ වනවිටත් එන යන සෑම සියලු දෙනාම පරීක්ෂාවට ලක් කෙරුණු අතර නිරෝධායන කටයුතු ද සිදුවුණා.)
බෙන්ට තම දෙවනි දරුවාගේ උපත දැකබලාගැනීමේ වාසනාව උදා වූයේ නැහැ. ඒ වනවිටත් රටේ තත්ත්වය නරක අතට හැරෙමින් තිබූ නිසාමත්, අනෙක් දරුවා හුදකලා කිරීම කළ නොහැකි නිසාවෙනුත් බෙන් නවතින්නට තීරණය කරනවා. තම අලුත උපන් දරුවා මෙන්ම දැන් සිටින දරුවාද වෛසරයෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපකිරීමක් සිදු කළ යුතුම බව බෙන් දැන සිටියා.
ඇගේ ස්වාමි පුරුෂයා කොහේද යන්න රෝහලේ පිරිස් පුන පුනා ඇසුවා. ඔවුන් සිතුවේ උපත සඳහා සහය වීමට සැමියා පැමිණේවී කියල යි. ලියකියවිලි හා නිදහස් කිරීම් ආදී සියලු ලියකියවිලි අත්සන් තබන්නට වූයේ ද ගෝටොටම යි.
ගොටෝ ජපන් ජාතික කාන්තාවක්. ඇය චීනයේ වසර දෙකකට වඩා වැඩි කාලයක් ජිවත්ව සිටිනවා.
මේ අසීරු මොහොතේ භාෂාමය ගැටලු පවා පැන නැඟුණේ වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ සමහරක් භාවිතාවන් ඇයට නුහුරු නිසාවෙනුයි.
"තල්ලු කරන්න.. කියලා ඒ අය මට විධානයක් දුන්නා.."
"ඊට පස්සෙ.. පැයකින්.. හෝ පැය දෙකකට වඩා අඩු කාලෙකින් යූ බබා එළියට ආවා..."
යම් හෙයකින් මේ රෝහලට නොපැමිණ මාතෘ රෝහලට බලා ගියේ නම් මෝටර් රථය තුළදීම දරුවා බිහි වනු ඇති බවයි බෙන් පවසන්නේ.
දින තුනකට පසු ඔවුන් රෝහලෙන් නිදහස් වුණා. අනතුරුව ගොටෝව සුරක්ෂිතව රැගෙන ගිය ෆ්‍රෙඩ්මන් කියන හාදයාට ස්තුති කිරීමක් සමඟ චොකලට් තෑග්ගක් දෙන්නත් ඔවුන් අමතක කළේ නැහැ.
ඉන් සති තුනකට පසු ඔවුන් චීනය අතහැර ජපානය බලා පිටත් ව ගියා. සැබැවින්ම ඔවුන් නැවත චීනයට කවදා ඒවීද යන්න කවුරුත්ම දන්නේ නැහැ.
මේ වන විට පවුලේ සාමාජීකයින් සියලු දෙනාම නීරෝගීව සිටිම ගැන ඔවුන් සිටින්නේ ඉමහත් සතුටින්.
ඔවුන්ගේ අලුත්ම දරුවා නමින් "යූ". ඔවුන් ඒ දරුවාට තෝරාගෙන තිබූ නම "චීන සඳ" යන්නයි. ඇය දුර්ලභ රාත්‍රීයක චන්ද්‍රයා ලෙසින් දිස් වූ ළඳරු දැරිවිය යි.
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)
සමිත ලක්ෂාන්
Share This Article