කුඩේ කුඩු වූ කිලෝ 500ක මත් කුඩු ජාවාරම
Saturday, 07 March 2020 - 18:08 | Views - 1,206

අපේ රටේ සංවර්ධනයට වෙන් කරනු ලබන මුදලින් සැලකිය යුතු කොටසක් වළකා ගත හැකි රෝගාබාධ වෙනුවෙන් වෙන් කරන්නට සිදුවීම සැබැවින්ම කනගාටුදායකය. විශේෂයෙන්ම මත්වතුර පානය නිසා මෙන්ම දුම්වැටි පානය නිසා රෝගාබාධයන්ට පත් වන්නන්ට වසරකට වෙන් කරන්නට සිදුවන මුදල ග්‍රාමීය රෝහල් කිහිපයක් තැනීමට වෙන් කරනා මුදලටත් වඩා වැඩි වේ.

මේ මුදල දෙගුණ තෙගුණ වන්නට වූයේ 80 දශකය ආරම්භයේ සිටය. ඒ මත් කුඩු වසංගතය මෙරට අස්සක මුල්ලක් නෑර පැතිර යන්නට වූ නිසාය. මේ තත්ත්වය ආරම්භයේදී ව්‍යාප්ත වූයේ අඩු ආදායම්ලාභී පවුල් අතරේ වුවත් පසුකාලීනව එය ඉහළ පෙළැන්තියේ අය අතරටද ව්‍යාප්ත වූ අතර මේ වන විට මේ මත් කුඩු වසංගතය දිවයින පුරාම ව්‍යාප්තව ඇත්තේ බාල මහලු ගැහැනු පිරිමි පවාවෙනසක් නොමැතිවය.

උසස් අධ්‍යාපන ආයතන ආක්‍රමණය කළ මේ මත් රකුසා පාසල් තුළටද පැමිණ දැයේ අනාගතය බාර ගැන්මට සිටින දූ දරුවන් ඩැහැ ගන්නටය. 

මුහුදින් පැමිණෙන මත්කුඩු අල්ලා ගැනීම පිණිස නාවික හමුදාව නිරතුරුවම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. ඒ සෝදිසි මෙහෙයුම්හි සාර්ථක ප්‍රතිඵල ලබන්නට ඔවුන්ට හැකිව ඇත්තේ සතියකට වරක් හෝ දෙවරක් අනිවාර්යෙන්ම කේරළ ගංජා හෝ වෙනත් මත් ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රා අසුවීම නිසාය.

මේ සම්බන්ධ දැවැන්ත ජාලයක තොරතුරු නාවික හමුදාවට වාර්තා වන්නේ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරකුට එතෙරින් ලැබුණු බුද්ධි තොරතුරක් හරහාය. යාත්‍රා දෙකකින් දකුණු මුහුදේ මත් කුඩු ප්‍රවාහනයට සූදානමක් ඇති බව ඒ අනුව වාර්තා විය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒ සම්බන්ධව නාවික හමුදාවට දැනුම් දීමෙන් පසුව අන්තර්ජාතික ඔත්තු සේවා හා බුද්ධි තොරතුරු තවත් තහවුරු කර ගැනීමෙන් පසුව නාවික හමුදාවට අයත් ‘සයුරල‘ හා ‘සමුදුර’ යන ආවේක්ෂණ නෞකා දෙක මසකට ආසන්න කාලයක් ගැඹුරු මුහුදේ මේ නිරීක්ෂණ කටයුතු දියත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසින් දකුණු මුහුදේ ගාල්ලට කිලෝමීටර් 1111ක් හෙවත් නාවික සැතපුම් 600ක පමණ දුරින් ගමන් කරමින් තිබූ පළමු සැක කටයුතු යාත්‍රාව අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය.

ඒ පසුගිය 29 වැනිදාය. ලැබුණු තොරතුරු මත තවත් යාත්‍රාවක් පැමිණිය යුතු හෙයින් නාවික හමුදාව ඒ සඳහාද සූදානමින් සිට එම යාත්‍රාවද ගොඩබිම සිට කිලෝමීටර් 1000ක පමණ දුරකදී ගැඹුරු මුහුදේ අන්තර්ජාතික කලාපයේදී අත් අඩංගුවට ගන්නා ලදී.

යාත්‍රා දෙකම අත් අඩංගුවට පත් වුණු අතර දෙවන යාත්‍රාවෙන් මත් කුඩු රට තුළට ගෙන ඒමට ගිය මෙරට යාත්‍රාවක්ද අත් අඩංගුවට ගන්නා ලදී. අත් අඩංගුවට ගත් විදේශීය යාත්‍රා දෙකේම මත් කුඩු කිලෝග්‍රෑම් 500ක ප්‍රමාණයක් විය. එය රට තුළට පැමිණියේ නම් එහි පරිභෝගිකයන් වන්නේ අපේ රටේ අනාගත තරුණ පරපුර බව අප දැන ගත යුතුය.

අත් අඩංගුවට ගත් යාත්‍රා හා මත් කුඩු තොගය පසුගිය 5 වැනිදා දික්ඕවිට වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා හා පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ඇතුළු නාවික හා පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය මත මාධ්‍යයට නිරාවරණය කරන ලදී.

නාවික හමුදාපතිවරයා මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වීය.

‘‘ මේ මෙහෙයුම සඳහා අපට දින 25ක කාලයක් මුහුදේ බලා සිටින්නට සිදුවුණා. යාත්‍රා දෙකම අන්තර්ජාතික සමුද්‍ර නීතිවලට පිටින් ගමන් කරමින් තිබුණේ. අනිවාර්යෙන්ම යාත්‍රාව අයත් රටේ ධජය ප්‍රදර්ශනය කළ යුතුමයි. නමුත් එවැන්නක් තිබුණේ නැහැ. එම නිසා නාවික හමුදාව කළ සෝදිසියේදී හමු වූ මත් කුඩු සමඟ යාත්‍රා දෙක හා මත්කුඩු තොගයත් දෙවන යාත්‍රාවේ සිට ගොඩබිමට මත්කුඩු ගෙන ඒමට ගැඹුරු මුහුදට ගිය මෙරට යාත්‍රාවකුත් අපි අත් අඩංගුවට ගෙන තිබෙනවා. විදේශීය යාත්‍රා දෙකේ තිබුණු මත්කුඩු අතර හෙරොයින් කිලෝග්‍රෑම් 400ක් හා අයිස් මත්කුඩු කිලෝග්‍රෑම් 100ක් අඩංගු වනවා. යාත්‍රා දෙකේම සිටි 16 දෙනා අත්අඩංගුවට පත්ව තිබෙනවා. එමෙන්ම දේශීය යාත්‍රාවේ සිටි 5 දෙනෙක්ද මේ වන විට අත්අඩංගුටව පත්ව තිබෙනවා.

නාවික හමුදාව ජාතික ආරක්ෂාව හැරුණු විට වැඩි වශයෙන්ම අවධානය යොමු කරන්නේ මේ මත්කුඩු ව්‍යසනය නැති කිරීම සඳහායි. සතියකට වරක් රැස්වන ආරක්ෂක මණ්ඩලයේදී අප ජාතික ආරක්ෂාවට මුග් තැන ලබා දීමෙන් පසුව දෙවනුව මත් උවදුර මැඬලීම වෙනුවෙන් කළ යුතු කාර්යයන් ගැන සලකා බැලීම කරනවා.

පසුගිය වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා (මාස 14ක කාලයක්) තුළ නාවික හමුදාව මඟින් පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 1162ක් හෙවත් ටොන් 1කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම කේරළ ගංජා පමණක් කිලෝග්‍රෑම් 5000ක් හෙවත් ටොන් 5කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එහි සාමාන්‍ය තොග වටිනාකම රුපියල් බිලියන 18ක් හෙවත් රුපියල් කෝටි 18000ත් ඉක්මවා යනවා.

ඒ වගේම මා ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ජාවාරමට අසු නොවන ලෙසයි. සුළු ලාභයක් තකා ගොස් අවසානයේ ඔවුන්ගේ ජීවිත කාලයම සිර ගෙදරට යන්නට සිදු වෙනවා. ඔවුන්ගේ දරු පවුල් මේ නිසා පත්වන අසරණතාවය ගැන කල්පනා කළ යුතුයි. නාවික හමුදාව බුද්ධි අංශ තොරතුරු පමණක් නෙමෙයි නවීන තාක්ෂණය. චන්ද්‍රිකා තාක්ෂණය මේ සියල්ල යොදාගෙනයි මේ සියලු මෙහෙයුම් කටයුතු කරන්නේ. නවීන තාක්ෂණය හරහා අපට දැන ගන්නට පුළුවන් යම් යාත්‍රාවක් තිබෙන්නේ කුමන ස්ථානයේද? එය කුමන කටයුත්තක නියැළී සිටින්නේද යන්න පවා.“

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසන්නේ අත් අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය මෙය බවයි. මීට පෙර කොකේන් කිලෝග්‍රෑම් 928ක් අත් අඩංගුවට ගත්තද හෙරොයින් වැඩිම තොගයක් ලෙසින් අත් අඩංගුවට පත්ව ඇත්තේ කිලෝග්‍රෑම් 294ක් බවද ඔහු පෙන්වා දෙයි.

‘‘පසුගිය අවුරුද්දේ පමණක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පමණක් කිලෝග්‍රෑම් 1739ක හෙරොයින් තොග අත් අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාවත් ඒ හා ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙහි තවත් පැත්තක් වන්නේ කිලෝග්‍රෑම් 500ක් පමණ ප්‍රමාණයක් රට ඇතුළට පැමිණීමෙන් පසුව එය කිලෝග්‍රෑම් 3500ක් පමණ දක්වා වන ප්‍රමාණයකට මිශ්‍ර කර ගැනීමයි. මුහුදේ මේ මෙහෙයුම් සිදු කරන්න අපට හැකියාවක් නැති නිසා නාවික හමුදාවේ සහාය අනිවාර්යෙන්ම අප ලබා ගන්නවා. මේ අංශයන්ගේ ඒකාබද්ධ ප්‍රතිඵලයක් තමයි මේ.

අපට වාර්තා වන ආකාරයට මේ කටයුත්ත සිදු කර ඇත්තේ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයකු විසින්. අප ඔහු අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. එමෙන්ම මෙරට තවත් ජාවාරම්කරුවන් දෙදෙනකුත් අත්අඩංගුවට ගැනීමට තිබෙනවා.

මේ මත්ද්‍රව්‍ය ජාලය අංශ 3කින් ක්‍රියාත්මක වනවා. එකක් රට අභ්‍යන්තරයේ ක්‍රියාත්මක ජාලය, දෙවැන්න ආසියානු මත් ද්‍රව්‍ය ජාලය තුන්වැන්න අන්තර්ජාතිකව ක්‍රියාත්මක ජාලය වශයෙන්. මේ සියලු ජාලයන්ගේ ක්‍රියාකාරකම් අප විසින් හදුනාගෙන තිබෙනවා.

අත් අඩංගුවට පත් වූ මේ පිරිස් රටවල් දෙකකට අයත් බවත් අප හඳුනාගෙන තිබෙනවා. සියලු දෙනා කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට පසුගිය 6 වැනිදා සිකුරාදා ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7ක රැඳවුම් නියෝග යටතේ ඔවුන්ගෙන් දීර්ඝ ලෙසින් ප්‍රශ්න කිරීම් සිදු කරනවා.‘‘

නාවිත හමුදාවත් සිදු කළ මේ මෙහෙය නිසා රට ඇතුළට පැමිණීමට තිබූ මහත් ව්‍යසනයක් වැළකී ගියේය. එහෙත් මේ ව්‍යසනය මෙතනින් නතර වන්නේ නැත. විශාල සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මේ ව්‍යසනය වළක්වාලීම පිණිස ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම පියවර ගත යුතුය. මවුපියන්ද තම දූ දරුවන්ගේ ගමන් හා ඇසුරු කරන්නන් ගැන වඩාත් අවධානය යොමු කළ යුතු වේ.

සේයාරූ - ගයාන් පුෂ්පික

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top