
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට යන දෙස් - විදෙස් සංචාරකයන් සවස 6 වන විට ඉන් පිටතට ඒම අනිවාර්ය වූවකි. එයට හේතුව වන්නේ වනෝද්‍යානය තුළ වෙසෙන සතුනට රාත්‍රියේ නිදහසේ සැරිසැරීමට අවකාශය සැලසීමය.
පසුගිය 26 වැනිදා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වුණු විදේශිකයන් තිදෙනෙක් සවස හය පසුවීත් පිටතට නොපැමිණි බව වනජීවී නිලධාරීන්ට වැටහුණි. ඒ අනුව සොයා බැලීමේදී ලෝකාන්ත මාර්ගයේ වයි හන්දිය අසලදී මෙම විදේශිකයන් තිදෙනා සොයා ගැනීමට හැකි වී තිබේ. මේ වන විට වේලාව රාත්‍රි 7.30ට පමණ වී ඇත. ඒ තරම් වේලාවක් වනෝද්‍යානය තුළ රැඳී සිටීම ගැන සැක සිතූ වනජීවී නිලධාරීන්ගේ ඊළඟ පියවර වූයේ විදේශිකයන් පරීක්‍ෂාවට ලක් කිරීමය.
එහිදී එක් අයකුගේ සාක්කුවක තිබී කුරුමිණියන් හත් දෙනකු හමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුහු වනෝද්‍යාන භාර පී.එම්.පී.කේ. ප්‍රදීප් කුමාර සහ නියෝජ්‍ය භාරකාර ටී.පී. දයාරත්න යන මහත්වරුන් දැනුවත් කළහ.
අදාළ දැනුවත් කිරීමත් සමඟ ඔවුන් පැමිණ සිදු කරන ලද විශේෂ පරීක්‍ෂා කිරීම්වලදී මෙම රුසියානු ජාතිකයන් තිදෙනා ජාන මංකොල්ලයක නිරතව සිටින පිරිසක් බවට සාක්‍ෂි සහිතව සොයා ගැනීමට හැකි වී තිබේ. අනතුරුව ඔවුන් පැමිණ තිබූ වාහනය පරීක්‍ෂා කිරීමේදී හෝර්ටන්තැන්නෙන් අල්ලා ගනු ලැබූ සමනලුන්, කටුස්සන් හා වෙනත් සතුන් මෙන්ම උරගයන් රැසක්ද සොයා ගැනීමට හැකි විය.
මොවුන් තිදෙනා උගතුන්ය. එක් අයෙක් ජීව විද්‍යාඥයෙකි. අනෙකා පුරාවිද්‍යාඥයෙකි. තුන් වැන්නා පරිගණක හා අන්තර්ජාල පරිහරණයේ විශේෂඥයෙකි. මොවුන් ඉකුත් පෙබරවාරි 27 වැනිදා පෙරවරු 9.20ට පමණ හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම් ෙදාරටුවෙන් උද්‍යානයට ඇතුළු වී ඇත.
මෙය ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන ජාන මංකොල්ලයක් බව තහවුරු කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු විදේශිකයන් තිදෙනා පසු දින එනම් 27 දින නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඔවුන් නවාතැන් ගෙන සිටින නවාතැන්පොළ පරීක්ෂා කිරීමටද අවසර ලබා ගැනිණි. අනතුරුව සැකකරුවන් තිදෙනා මාර්තු මස 3 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා නියෝග කොට ඇත.
ඔවුන් තිදෙනා නවාතැන්ගෙන සිටි නුවරඑළිය, පට්ටිපොළ ප්‍රදේශයේ සංචාරක හෝටලයේ කාමරය පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ දේවල් දැක වනජීවී නිලධාරීහු මවිතයට පත් වූහ. එහිදී ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙන් විවිධ ඇසුරුම්වල සඟවාගෙන තිබූ උරග හා කෘමි විශේෂ 23කට අයත් විවිධ සතුන් 550ක් සොයා ගන්නා ලදී. ඊට අමතරව ශාක කොටස් විශාල ප්‍රමාණයක් හා බීජ වර්ග එකතුවක්ද හමු විය. එසේ අල්ලාගෙන තිබූ සතුන් අතර මෙරටට ආවේණික සතුන් මෙන්ම මෙරටින් වඳ වී යෑමේ තර්ජනයට ලක්ව සිටින සතුන් රැසක් සේම රතු දත්ත පොතට ඇතුළත්ව ඇති සත්තුද වූහ. මෙම විවිධ සතුන් අතර කටුස්සන්, ගොළුබෙල්ලන්, සර්පයන්, හූනන්, ගෝනුස්සන්, කුරුමිණියන්, මකුළුවන්, සලබයන්, සමනලයන්, කන්කුන්ඩන්, කැරපොත්තෝද වූහ. සඟවාගෙන සිටිය ශාක හා බීජවලින් වැඩි ප්‍රමාණයක් මෙරටට ආවේණික හා මෙරටින් වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ලෙසද සැලකේ.
මෙම රුසියානු ජාතික ජාන මංකොල්ලකරුවන් තිදෙනා ඉග්නටෙන්කෝ ඇලෙක්සැන්ඩර්, රියාබෝ ආර්ටෙම් සහ කිලෆයාන් නිකොලයි ලෙස හඳුනාගෙන තිබෙන අතර ඔවුන් ලංකාවට පැමිණ ඇත්තේ පෙබරවාරි 8 වැනි දින බවද අනාවරණය කරගෙන ඇත. ඔවුන් යළි මෙරටින් පිටව යෑමට නියමිතව තිබුණේ මෙම මස 11 දිනය.
ලංකාවට පැමිණි පසු ඔවුන් තිදෙනා කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකින් යාපනය, දඹුල්ල, සීගිරිය, හබරණ, ගිනිගත්හේන, යාල, නුවරඑළිය යන ප්‍රදේශවල සැරිසරා තිබේ.
අවසන් වතාවට නුවරඑළියට පැමිණ ඇති ඔවුන් ඉකුත් 26දා උදෑසනම හෝර්ටන්තැන්නට ඇතුළු වී තිබේ.
අල්ලා ගනු ලැබූ සතුන් කිසියම් රසායනික ද්‍රව්‍යයක් උපකාරයෙන් ජීවග්‍රහයෙන් තබාගෙන සිට ඇත.
ඉකුත් 3දා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අදාළ රුසියානුවන් තිදෙනා මාර්තු 12 වැනි දින දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මධ්‍යම පළාත් වනජීවී අධ්‍යක්ෂ එච්.ජී. ප්‍රේමතිලක මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී.පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී.එම්.ටී. පනාවලගේ, වනසත්ත්ව නියාමක ප්‍රියදර්ශන, ක්ෂේත්‍ර සහායක උදයකුමාර, රියැදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරීන් මෙම මහා ජාන මංකොල්ලකරුවන් නීතියේ රැහැනට කොටු කර දීම ජාතියේ උපහාර ලැබිය යුත්තකි.
නුවරඑළිය-චන්ද්‍රසිරි මහගම
බළන්ගොඩ-පියසේන එන්. හේවගේ
75 Views
103 Views
266 Views
164 Views
134 Views
145 Views
154 Views
145 Views
117 Views
182 Views
133 Views
143 Views
218 Views
245 Views
705 Views
80 Views
80 Views
76 Views
49 Views