රටවල් 100ක කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි - ඉතාලියේ මරණ 197ක්
Saturday, 07 March 2020 - 7:30 | Views - 929

ලොව පුරා කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට එම වෙරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 1811ක්.
මරණ 3460 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
චීනයේ පමණක් මරණ 3042ක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාව 80,556ක්. දකුණු කොරියාවෙන් ආසාදිතයන් 6593 දෙනෙකු වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉතාලියේ මියගිය ගණන 197 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත සංඛ්‍යාව 3858ක්.
එමෙන්ම ඉරානයේ පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් ඇති අතර, ආසාදිත සංඛ්‍යාව 4747ක්.
මරණ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිත සංඛ්‍යාව 233 දක්වා ඉහළ ගොස් ඇති අතර, කොවිඩ් නයින්ටීන් වෛරසය මේ වනවිට රටවල් 100 ක පැතිර ගොස් තිබෙනවා.
ලොව පුරා පැතිර යන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය වෙත සිදුකෙරෙන සියලු ගුවන් ගමන් ලබන 10 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව, තත්ත්වය සලකා බලා ලබන අප්‍රේල් 30 වනදායින් පසු චීනයේ බීජිං, ග්වැන්ෂු සහ ෂැංහයි දක්වා සිදුකරන ගුවන් ගමන් වාර නැවත ආරම්භ කිරීමට අවධානය යොමුකරන බවයි එම සමාගම නිවේදනය කළේ.
මේ අතර, ලබන 15 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා කාලසීමාව තුළදී ශ්‍රී ලංකාවේ සිට සෞදි අරාබියේ - ජෙඩා දක්වා වන ගුවන් ගමන් නතර කිරීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කළා.
සෞදි අරාබි සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පනවා ඇති නියෝගයක් මත එම තීරණයට එළඹ ඇති අතර, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට කිසිදු විදේශිකයෙකුට සෞදි අරාබියට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, සෞදි අරාබියේ රියාද් සහ දමාම් දක්වා වන ගුවන් ගමන් සේවා අඛන්ඩව ක්‍රියාත්මක බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළා.
මේ අතර, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණි දේශීය හා විදේශීය මගීන් 3200ක් මේ වනවිට පසුවිපරමට ලක්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ශ්‍රී ලංකාව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී එළඹීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ට පැහැදිලි කිරීමේ හමුවක් ඊයේ පස්වරුවේ විදේශ සබඳතා අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.
ඒ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරින්ගේ සහභාගිත්වයෙන්.
මේ අතර, ජනාධිපති කාර්යාලය සඳහන් කළේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා රජය විධිවිධාන සකස් කරමින් සිටින බවයි.
ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී ඇත්තේ ලංකාව කොරෝනා තර්ජනයෙන් නිදහස් රටක් බවට පත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.
Share This Article