පුත්තලම නගරය මැද ප්රදේශයකින් භූගත ජලය ඉවක් බවක් නොමැතිව ගලා ඒමෙන් එම ප්රදේශවාසීහු දැඩි අපහසුතාවයට පත්වී සිටිති.
පුත්තලම සේනකුරිප්පුව ග්රාමසේවා වසමේ ජුසේවාස් මාවත හා කොවිල් පාර පටු මාර්ගය ප්රදේශයේ නිවාස 40ක ආසන්න ප්රමාණයක් දැනට මාස 04 - 05ක පමණ සිට මෙලෙස ජලයෙන් යටවී තිබේ.
ඉකුත් නොවැම්බර් හා දෙසැම්බර් වර්ෂා ගංවතුර කාලයේ දී මෙම ජල ගැලීම ආරම්භ වී ඇත. එවිට වර්ෂාව නිසා මේ තත්ත්වය ඇති වී ඇති බව ගම්මුන් සිතා ගෙන සිටි නමුත් වර්තමානයේ පුත්තලමට ඇද හැලෙන හිරු රශ්මිය නිසා නගරයේ අනික් ප්රදේශ දැඩිව වියළී තිබුණත් මෙම ප්රදේශයේ ජලය පැමිණීම අඩුවක් දක්නට නැත.
මේ තත්ත්වය දිනෙන්න දින වර්ධනය වූ බව ගම්මු පෙන්වා දෙති. නිවාස අත්තිවාර්ම ගණනාවක් ඇතුළතින් ජලය ගලා එනු දක්නට ලැබේ. නිවාස ගණනාවක් අසල ඇති සීඳී ගිය ළිං ගණානාවක් දැනට උතුරා යන අයුරු ද දක්නට ලැබේ. මේ නිවාස හා සියලූ ඉඩම්වල බිම ජලය නිරන්තරව ම දක්නට ලැබේ. මේ තත්ත්වය නිසා නිවාස ගණනාවක් ජනතාව නිවාස අතහැර ගොස් තිබේ. නිවාස කිහිපයක් ඉරිතලා වැසිකිළි කිහිපයක් උතුරා ගොඩනැගිලි බිමට පතිත වීමට ආසන්න තත්වයක පවතියි.
නගරයේ පහත් බිම් ප්රදේශයක් වන මෙම ප්රදේශයේ නිසි කාණු පද්ධතියක් නැත. මේ නිසා ජලය ගලා බැස යන්නේ නැත. පුත්තලම් කළපුව ද පොළවට ඉහලින් පිහිටීම නිසා මෙම ජලය බැස යෑම මන්දගාමීව සිදුවෙයි.
මේ පිළබඳව අදහස් දැක්වූ කේ.ඒ.ඞී. කැමිලස් මහතා මෙසේ කීවේය.
අපි දැන් මාස ගණනාවක සිටම මේ දුක විඳිනවා. අපි මේ පිළිබඳ අපේ ග්රාම සේවකගේ ඉඳලා ආයතන ගණනාවකට ම කිව්වා. එයාලත් ඇවිල්ලා බැලූවා. අපිට තාම නිසි උත්තරයක් ගන්න බැරි වුණා. ජල සම්පත් මණ්ඩලයෙන් පුත්තලමට ජලය දෙන්න නළ ළිං වගයක් ඒ දවස්වල
ගැහුවා. ඒවායි වතුර දැන් ගන්නේ නෑ. මහා පල්ලිය පිටුපස්සේ ඒවා තියෙනවා. අපි හිතනවා ඒ නළ ළිං ඇතුළෙන් මේ ජලය පිටට එනවා කියලා.
රමණී ප්රනාන්දු මහත්මිය අදහස් දක්වමින් මෙසේ කීවාය.
අපි දැන් නිවාසවල ඉන්නත් බයයි. සරු වටිනා ගස් ඔක්කොම කුණු වෙලා මැරිලා ගිහිල්ලා. අපදා කළමනාකරණ ඒකකය ඇතුළු අය ආවා. නමුත් තවම විසඳුමක් නෑ. දැන් මාස ගණනාවක් වෙනවා මේ කරදරේට. නිවසින් එළිය අඩියක්වත් තියන්න බෑ. පුත්තලම අවටම කරවෙනවා, ඒ තරම් පෑ විල්ල. අපිට එළියටවත් බහින්න බෑ මිදුලේ වතුර.
මේ පිළිබඳව පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ. ඒ. බායිස් මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ තාමට මේ පිළිබඳව තීරණයක් දිය නොහැකි බවයි. සියලූ අංශ එකතු වෙලා මේ පිළිබඳව සොයා බලන බවත් ඔහු කීවේය.
දිවයින
