ඩුබායි පාලකයාට එරෙහි අපහරණ චෝදනා අධිකරණය පිළිගනී
Friday, 06 March 2020 - 11:48 | Views - 1,181

අපහරණය, වද හිංසාවට ලක් කිරීම, බිය ගැන්වීම සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේ පාලකයා වන ශෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල්-මක්ටුම් වගකිවයුතු බව බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.
ඒ ඔහුගේ හිටපු භාර්‍යාව වන හයා බින්ත් අල්-හුසෙයින් ඔහුට එල්ල කළ චෝදනා පිළිබඳ කරුණු සොයා බැලීමේ නඩු විභාගයක් පැවැත්වීමෙන් අනතුරුවයි.
මීට මාස 8කට පෙර තම දරු දෙදෙනා සමග ඩුබායි රාජ්‍යයෙන් පළා ගිය ඇය තම ජීවිතය සම්බන්ධයෙන් බියක් පවතින බව හිතමිතුරන්ට පවසා තිබුණා.
කෙසේ වෙතත් 2019 මුල් කාලයේ ඇය තම ආරක්ෂකයා සමග අනියම් සම්බන්ධතාවයක් පැවත්වූ බවට චෝදනා එල්ල වුනා.
ඩුබායි පාලකයා මෙම නඩු විභාගය පුද්ගලික මට්ටමින් තබා ගැනීමට උත්සාහ කළත් ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප වීමත් සමග එය මහජනයාට විවෘත වුනා.
විවෘතව සහ අවංකව අධිකරණය සමඟ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ද ඔහු වරදකරු වී තිබෙනවා.
කෙසේ වෙතත් අධිකරණ තීන්දුවෙන් පසුව ශෙයික් මොහොමඩ් පවසා තිබුණේ මෙය කරුණු සොයා බැලීමේ විනිශ්චයක් බැවින් රජයේ නිළධාරියෙක් වීම හේතුවෙන් ඊට සහභාගී වීමට නොහැකි වූ බවත් මෙයින් කියවෙන්නේ එක් පාර්ශවයක අදහස් පමණක් වන බවයි.
මෙය පුද්ගලික කාරණාවක් සේ සලකා තම දරුවන්ගේ ජීවිත වලට බලපෑම් කිරීමෙන් වැලකී සිටින ලෙසද ඔහු ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් ද කර තිබෙනවා.
Share This Article