රන්ජන්ගේ හඬපට දෙකක් දේශපාලන පළිගැනීම් ගැන ජනපති කොමිසමට
Tuesday, 03 March 2020 - 19:08 | Views - 510

රියර් අද්මිරාල් ඞී.කේ.පී. දසනායක, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද දුරකථන සංවාද දෙකක හඬපට ඉදිරිපත් කළා.
ඒ, වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අතර සිදු වූ දුරකථන සංවාදවලට අදාළවයි.
කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද්ධියට සැකකරුවෙකු ලෙස නම්කර ඇති රියර් අද්මිරාල් ඞී.කේ.පී. දසනායක, අද තුන්වන දිනටත් ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණේ අසත්‍ය තොරතුරු වාර්තා කර නඩුවේ සාක්ෂි නිර්මාණය කර ඇති බවට පසුගිය වර ඞී.කේ.පී. දසනායක ලබාදුන් ප්‍රකාශ හේතුවෙන්.
කෙසේ වෙතත් අද කොමිසම හමුවේ පෙනී සිටියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පමණයි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කොමිසමට දැනුම් දුන්නේ බී.එස්. තිසේරා කොමිසම හමුවට පැමිණීමට නොහැකි බව දැනුම් දුන් බවයි.
එසේම නිශාන්ත ද සිල්වා අවසන්වරට රැඳී සිටි නිවසේ, යළි සිතාසිය අලවන ලෙස කොමිසම දැන්වූ අතර නීතීඥවරයා කොමිසමට දැනුම් දුන්නේ නිශාන්ත සිල්වා ලංකාවේ නොසිටින බැවින් ඔහු මෙරටට භාරදෙන ලෙස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දැනුම් දිය හැකි බවයි.
තමන් සම්බන්ධ නඩුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක සහ ශානි අබේසේකරත්, රංජන් රාමනායක මන්ත්‍රීවරයා හා නිශාන්ත සිල්වා අතරත් සිදු වූ දුරකථන සංවාද වල හඩ පට දෙකක් කොමිසම හමුවට ඉදිරිපත් කරන බව අද්මිරාල් ඞී.කේ.පී. දසනායක මෙහිදී සාක්ෂි දෙමින් සඳහන් කළා.
අනතුරුව කොමිසමේදී එම හඬ පට වාදනය කෙරුණා.
අද්මිරාල් ඞී.කේ.පී. දසනායකගෙන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ අතුරුදන් වූ තරුණයන් 11 දෙනා අතර සිටින ත්‍යාගරාජා ජෙගන් නැමැත්තාගේ සහෝදරියක වන ජර්නි ත්‍යාගරාජා, නිශාන්ත සිල්වා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යවා ඇති බවයි.
එහිදී අදාළ කාන්තාව ඞී.කේ.පී. දසනායක ඇතුළු පිරිස සුදුවෑන් මගින් සිය සහෝදරයා ඇතුළු පිරිස පැහැර ගත් බව මානව හිමිකම් කවුන්සිලයට දැනුම්දී ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පලා යාම, ජිනීවා මානව හිමිකම් සැසිවාරවලට සහභාගිවන එම්. ඒ. සුමන්තිරන් රංජන් රාමනායකගේ නඩුවකට පෙනී සිටීම ඇතුළු සියලූ කරුණු හරහා, මොවුන් එකිනෙකා හා සම්බන්ධ බැවින් තමා ඉලක්ක කර කුමන්ත්‍රණයක් සිදුවන බවට සැකකරන බව අද්මිරාල් දසනායක කොමිසමට සදහන් කළා.
අනතුරුව අද්මිරාල් දසනායක කොමිසම හමුවේ අනාවරණ කළේ එවක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව සිටි රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ හිටපු නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ එක් අවස්ථාවක ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබූ බවයි.
ඔවුන් එහි යන අවස්ථාවේ රාජිත සේනාරත්න, ඞී.එම්. ස්වාමිනාදන්, රංජිත් මද්දුමබණ්ඩාර, නීතීඥ ජේ.සී. වැලිඅමුණ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සාකච්ඡාවක නිරතව සිට ඇති බව ද ඔහු කියා සිටියා.
එහිදී අද්මිරාල් ඞී.කේ.පී. දසනායක හමුදා සේවයෙන් ඉවත් නොකරන්නේ ඇයිද සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාද ඇයිද යනුවෙන් ඔවුන් එම නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.
අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි දුන් අද්මිරාල් ඞී.කේ.පී. දසනායකගේ බිරිඳවන චන්ද්‍රිකා දසනායක සඳහන් කළේ තම සැමියා වැලිසර නාවික හමුදා රෝහලේදී අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේදී මේ වන විට රටින් පලාගොස් ඇති නිශාන්ත සිල්වා තමන්ට බලපෑම් කළ බවයි.
ඒ අනුව ‘‘මැඩම්ට පුළුවන් මේක වෙනස් කරන්න. එතකොට පවුලටම ප්‍රශ්නයක් නැහැ.මේ ප්‍රශ්නයෙන් නිදහස්. ”ගෝඨාභයගේ උපදෙස් පරිදි කරන්නාගොඩ තමයි මේක කරන්න කිව්වේ කියලා සර්ට කියන්න විතරයි තියෙන්නේ” යැයි පවසන ලෙස නිශාන්ත සිල්වා තමන්ට බල කළ බව ඞී.කේ.පී. දසනායකගේ බිරිඳ කොමිසමට පැවසුවා.
අනතුරුව සාක්ෂි ලබාදුන් අද්මිරාල් දසනායකගේ වැඩිමහල් දියණිය කියා සිටියේ තම පියාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවස්ථා කිහිපයකදී දැනුවත් කළත්, කළ හැක්කක් නොමැති බව ඔහු ප්‍රකාශ කළ බවයි.
Share This Article