ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය කැඳවීමත් සමඟ රට තුළ අද සිට මැතිවරණ නිතීය ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ එම කොමිසම් සභාවේ නියෝජිතයින් සමඟ අද පෙරවරුවේ මහනුවරට ගොස් මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුවයි.
ඒ අනුව, ප්‍රථමයෙන් ඔවුන් මල්වතු විහාරයට ගොස් එම පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නාහිමියන් බැහැ දුටුවා.
අනතුරුව, පිරිස අස්ගිරි විහාරය වෙත ගිය අතර, එහිදී අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නාහිමියන් සහ එම පාර්ශවයේ ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැ දැක තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණු අතර, එහි සඳහන් වූයේ මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කරන බවයි.
එසේම, මැතිවරණයේ නාම යෝජනා භාරගැනීම මාර්තු මස 12 වනදා සිට 19 වනදා දක්වා සිදු කෙරෙන බවද ජනාධිපතිවරයා නිකුත් කළ එම ගැසට් නිවේදනයේ සඳහන්.
මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බැවින් මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදන 03 ක් අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කලා.
එහි උසස් නිළධාරියෙකු කියා සිටියේ නාමයෝජනා කැඳවීම, ඇප තැන්පත් කිරීම, හා ඒ ඒ දිස්ත්‍රික්ක වලින් තෝරාපත් කර ගැනෙන මන්ත්‍රිවරුන් සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදන මෙන්ම, දිස්ත්‍රික් තේරිම්භාර නිළධාරින් නම් කරමින් නිකුත් කරන ගැසට් නිවේදනය මෙලෙස ප්‍රසිද්ධියට පත් කෙරෙන බවයි.
මීට අමතරව, අවතැන් ඡන්ද හිමියන්ට මැතිවරණයට ලියාපදිංචිය සඳහා අවස්ථාව සලසා දෙන ගැසට් නිවේදනය ද අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරෙන අතර, එම ගැසට් නිවේදන තුන මුද්‍රණය කිරිම සඳහා මේ වනවිට මැතිවරණ කොමිසම් සභාව රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබෙනවා.
මේ අතර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ තම නිල නිවාස යළි භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කැබිනට් නොවන අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.
එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ අද සිට මාස 3 ක් ඇතුළත එම නිල නිවාස භාර දෙන ලෙස අදාළ අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවයි.