කොරෝනා නිසා ඇඟලුම් කර්මාන්තයට අහිතකර බලපෑම්
Tuesday, 03 March 2020 - 13:43 | Views - 540
ඉතාලිය ප්‍රමුඛ යුරෝපා රටවලට ද කොරෝනා වෛරසය පැතිරීම, මෙරට ඇඟලුම් කර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් ඇති කරන බව, ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සම්මේලනය පවසනවා.
ඇඟළුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම් චීනයෙන් ලබා ගැනීම දුෂ්කරවීම නිසා කොරෝනා වෛරසය මෙරට ඇඟළුම් කර්මාන්තයට දැනටමත් බලපෑමක් කර අවසන්.
යුරෝපීය රටවලට ද වෛරසය පැතිරීම නිසා මෙරට ඇඟළුම් සඳහා වන ඇණවුම් ජුනි මාසයේ සිට සියයට 20ත්, සියයට 30ත් අතර, ප්‍රමාණයකින් පහත වැටෙනු ඇති බව ඇඟළුම් අපනයනකරුවන්ගේ සම්මේලනයේ අදහසයි.
ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය හැරුණු කොට ශ්‍රී ලංකාවේ තුන් වන විශාලතම ඇඟළුම් වෙළඳපළ වන්නේ ඉතාලියයි.
2018 වසරේදී එක්සත් ජනපදය ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක් වටිනා මෙරට ඇඟළුම් ආනයනය කළ අතර, එක්සත් රාජධානිය ඩොලර් මිලියන 737ක සහ ඉතාලිය ඇමරිකානු ඩොලර් 463ක මෙරට ඇඟළුම් ආනයනය කළා.
2019 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 11.9ක් වූ මෙරට අපනයන ආදායමින් ඩොලර් බිලියන 5.5ක් හිමි වූයේ ඇඟළුම් අපනයනවලින්.
Share This Article