කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා පිළිබඳ ඉතාලියෙන් වාර්තා වනවා.
ඉතාලියේ බ්‍රේෂියා ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තහවුරු කළා.
ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර පසුගිය වසර 10ක කාලය තුළ ඉතාලියේ පදිංචිව සිටින්නේ ඇගේ සැමියා ද සමඟයි.
මෙම කාන්තාව රැක බලා ගත් ඉතාලි ජාතික කාන්තාවකට මුලින් වෛරසය ආසාදනය වී ඇති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඉන් පසුවයි.
මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට ආසාදිත සංඛ්‍යාව 2036ක්.
යුරෝපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් ඇතිව තිබෙන්නේ ඉතාලියටයි.
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් වෙත විශේෂ නිවේදන කිහිපයක්ද නිකුත් කර තිබුනා.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම යනුවෙන් නිකුත් කර තිබු නිවේදනයක සඳහන්ව තිබුනේ දැනට ඉතාලිය තුළ පැතිරීයන කොරෝනා වෛරස් අවධානම හේතුවෙන් තමා ජීවත්වන ප්‍රදේශයෙන් වෙනත් ජනාකීර්ණ ප්‍රදේශවලට ගමන් කිරීමට පෙර මේ පිළිබදව සිතා බලන ලෙසයි.
එම ස්ථානයට යාමට ඔබ අපේක්ෂා කරන කාර්ය කඩිනමින් හා අනිවාර්යයෙන් කළයුත්තක්ද?
එම ස්ථානයට නොගොස් අදාළ කරතව්‍ය සිදුකරගැනීමට තැපැල් හෝ වෙනත් විකල්ප මාර්ග පවතී ද? යනුවෙන් සිතා බලන ලෙසද එහි දැක්වුනා.
"උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි පළාත කේන්ද්‍ර කර ගනිමින් ඉතාලිය තුල පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතව ඇති හදිසි තත්වය සැලකිල්ලිට ගෙන ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා පහත ක්‍රියාමාර්ග කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කොට ඒ අනුව කටයුතු කරන මෙන් කාරුණිකව දැනුම් දෙනු ලැබේ".
යනුවෙන් නිකුත් කර තිබු නිවේදනය පහත දැක්වෙනවා.
