මගේ අම්මාට මේ මිනීමරුම් තනියෙන් කරන්න බැහැ. කවුරු කළත් ඔවුන්ට දඬුවම් දිය යුතුයි
වසර 14ක් තිස්සේ ඉතා සියුම් ලෙස තම පවුලේ අය එකිනෙකා මරා දැමූ මිනීමරු කාන්තාවක් ගැන ඇඟ ලොමු ඩැහැගැන්වෙන කතා පුවතක් පසුගියදා කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වුණා.
ඉන්දිය කේරළයේ කාෂිනෝඩේ ප්‍රදේශයේ ජීවත් වූ මෙම පොන්හාමත්තෝමී පවුල කතෝලික භක්තිකයින් වුණා. ඉතා සැපසේ ජීවත් වූ ඔවුන් ඉතා ධනවතුන්.
57 හැවිරිදි විශ්‍රාම ලත් ගුරුවරියක් වූ අත්තම්මා තෝමස් මෙම පවුලේ ප්‍රධානියා වුණා.
2002 වසරේදී ඇය හිටි හැටියේම නිවස තුළ ඇද වැටී මරණයට පත් වුණා. එය ස්වභාවික මරණයක් ලෙස සැළකූ පවුලේ අය ඇගේ අවසන් කටයුතු කාගේත් මැදිහත් වීම මත සිදු කළා.
ඊට වසර හයකට පසු ඇගේ සැමියා වන 66 හැවිරිදි ටොම් තෝමස් ද හෘදයාබාධයක් වැළඳී මිය යාම ගැන පවුලේ සාමාජීකයින් අතර කිසිදු ප්‍රශ්නයක් නැඟුණේ නැහැ.
2011 දී ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුතු 40 හැවිරිදි රෝයි තෝමස්ද හිටි හැටියේ මියගිය අතර විස වර්ගයක් ශරීර ගත වීමෙන් මරණය සිදුවී ඇති බව මරණ පරීක්ෂණයේදී සඳහන් වුවත් පවුලේ කිසිවෙකුගේ ඊට එරෙහි කිසිදු චෝදනාවක් එල්ල වුයේ නැහැ.
ඉන්පසුව අත්තම්මාගේ සොහොයුරු 67 හැවිරිදි මැතිව් මන්ජාඩියිල්ද ඒ අයුරින්ම මරණයට පත් වුණා.
මේ සිව් දෙනාගේ අවසන් කටයුතු කුඩාතායි පිහිටි ලර්ද් මාතා පල්ලිය අසළ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා.
ඊට වසර කිහිපයකට පසු 2016 දී අත්තම්මාගේ ඥාතියකු වූ ෂාජුගේ දෙහැවිරිදි දියණියද කෑම සිරවීමකින් මරණයට පත් වූ අතර ෂාජුගේ බිරිය සිලීද ඊට දින කිහිපයකට පසු මරු වැළඳ ගත්තා.
ටික කාලයක් ගත වෙද්දි ජෝලි තෝමස්ගේ බිරිය ජූලියා තෝමස් මිය ගිය සිසිලිගේ ස්වාමි පුරුෂයා ෂාජු සමඟ විවාහ වීමත් සමඟ පවුලේ නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. විවාහයෙන් ටික දිනකට පසු ජෝලි අධිකරණයට ඉදිරිපත් වී කියා සිටියේ පවුලේ සියලුම අයගේ දේපළ හා වස්තුව තමන් සතුවිය යුතු බවයි.
ඇය සිය මුල් මාමණ්ඩිය වූ ටොම් තෝමස් විසින් අත්සන් කරන ලද අන්තිම කැමති පත්‍රයද අධිකරණයට ඉදිරිපත් කළා.
මෙම සිදුවීම ටොම්ගේ කණිෂ්ඨ පුත් ඒ වන විට ඇමරිකාවේ පුරවැසියෙක් වූ මොටෝ තෝමස්ගේ සැකයට හේතූ වුණා. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමට එරෙහිව අභියෝගයක් ඉදිරිපත් කළ අතර ඊට අමතරව කේරළ පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරමින් කියා සිටියේ වසර 14ක් තිස්සේ තම පවුලේ සාමාජීකයින්ගේ මරණ සියල්ල ගැන තමා තුළ දැඩි සැකයක් පවතින බවයි.
මෙතෙක් මෙම මරණ ගැන එතරම් තැකීමක් නොකළ කේරළ ජනතාව හා මාධ්‍ය තෝමස්ගේ අභියෝගාත්මක පැමිණිල්ල සමඟ සිදුව ඇති මරණ රැල්ල ගැන විශේෂ අවධානයක් හා උනන්දුවක් යොමු කරන්නට වුණා.
අවසානයේ අධිකරණයට ද මේ මරණ ගැන සැක සංකා මතුවීම හේතුවෙන් වසර කිහිපයකට පෙර වළ දැමූ මළසිරුරු සියල්ල නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ට නියෝග කෙරුණා.
සිද්ධිය ගැන කේරළ පොලිසියද විමර්ශනයක් ආරම්භ කරමින් රෝයිගේ බිරියගෙන් හා ඇගේ දෙවන සැමියා වූ ෂාජුගෙන්ද ප්‍රශ්න කරන්නට පටන් ගත්තා.
පොලිසිය ඇසූ ප්‍රශ්නවලට ඔවුන් දුන් පිළිතුරු පරස්පර වීම නිසාත් බොරුකීම හඳුනා ගත හැකි polygraph පරීක්ෂණයට සෞඛ්‍ය හේතු මත පෙනී සිටිමට නොහැකි බව ජෝලි ප්‍රකාශ කිරීම නිසාත් මෙම මරණ සියල්ල ඇය විසින් සියුම් ලෙස සැලසුම් කර සිදු කර ඇති බවට පැවති සැකය ක්‍රමයෙන් තහවුරු වුණා.
එසේම සියලු මරණ සිදුවන අවස්ථාවේ ඇය ඒ අසල සිටි බවට ද අධිකරණයේදී ඔප්පු කිරීමට තෝමස්ගේ නීතිඥයින් සමත් වුණා.
මේ අතර අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන් විසින් එම මරණ සම්බන්ධව කළ විමර්ශනයේදී හෙළි වූයේ මිය ගිය සැමගේ සිරුරුවලට විස වර්ගයක් ඇතුළුවීම නිසා එම මරණ සිදුව ඇති බවයි.
රෝයි (ජොලිගේ මුල් සැමියා) ගේ මරණය සයනයිඩ් නිසා සිදු වූවක් බවට මරණ පරීක්ෂණයේදී හෙළි වුවත් ඔහුගේ බිරිය ජෝලි ඒ අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ තම සැමියා හෘදයාබාධයකින් මිය ගිය බවට තමා විශ්වාස කරන බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර විභාගයක් අවශ්‍ය නැති බවයි.
මේ සියල්ල හෙළි වීමත් සමඟ ජෝලි හා ෂාජු කේරළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අතර මෙම මිනිස් ඝාතනවලට සහය දීම මත එම්. එස්. මැතිව් හා ප්‍රාජි කුමාර් යන දෙදෙනාද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
මැතිව් ස්වර්ණාභරණ සාප්පුවක සේවය කළ අතර ප්‍රාජි කුමාර් ස්වර්ණාභරණ නිෂ්පාදනයේ නියැලී සිටියා. සයනයිඩ් විස ජෝලිට හා ෂාජුට ලබා දීම ඔවුන්ට එල්ල වු චෝදනාව වුණා.
කේරළ ප්‍රාන්තයේ පොලිස් අධිකාරි කේ. ජී. සයිමන් විසින් මිනිත්තු 90ක පමණ කාලයක් ෂාජුගෙන් ප්‍රශ්න කරනු ලැබු අතර එහිදී ෂාජු පොලිස් අධිකාරිවරයා ඉදිරියේ කළ වරද පිළිගෙන මෙම මිනීමැරුම් වලට තමා බිරිය ජෝලිට සහය දුන් බවට පාපොච්චාරණයක්ද කර තිබෙනවා.
මේ සියලු කුමන්ත්‍රණ හෙළිකිරීමට ඉදිරිපත් වූ රෝයි හා ජෝලිගේ වැඩිමහල් පුතු රෝමා මාධ්‍ය හමුවේ මෙසේ කියා සිටියා.
"මගේ අම්මාට මේ සියලුම මිනීමරුම් තනියෙන් කරන්න බැහැ. එයාට කවුරුහරි මේකට උදව් කරන්න ඇති. ඒ කොහොම වුණත් මේ අපරාධ කළ කවුරු හෝ වේවා ඔවුන්ට බරපතල දඬුවම් දිය යුතුයි..."
මේ අතර කේරළයේ වැසියන් කේරල පොලීසිය විවේචනය කරමින් පවසන්නේ මුල් අවස්ථාවේදීම පොලිසිය මේ මරණ ගැන විමර්ශන පැවැත්වුයේ නම් සෙසු මරණ වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.
ජෝලි හා ෂාජු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කොට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මොවුන් මෙම මරණවලට වැරදිකරුවන් වුවහොත් අනිවාර්යෙන්ම මරණ දඬුවම හිමි වනු ඇතැයි ඉන්දීය නීති විශාරදයින් පෙන්වා දෙනවා.
රෝහණ ආර්යරත්න

