සජිත්ගේ සමඟි ජන බලවේග සමුළුව ඇරඹේ
Monday, 02 March 2020 - 12:52 | Views - 465

ඉදිරි මහ මැතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන ලද සමගි ජන බලවේගයේ සමාරම්භක උළෙල කොළඹ - නෙළුම් පොකුණ රඟහලේදී මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් තොරවයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්, මෙම අවස්ථාවට එක්ව සිටිනවා.
එසේම දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී.
රාධක්‍රිෂ්ණන් සහ ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද මෙම උත්සවයට පැමිණ සිටින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියසම්, උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක, මෙම උත්සවයට පැමිණ නැහැ.
එසේම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන ඇතුලු පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මීට එක්ව සිටිනවා.
සමගි ජන බලවේගය සමඟ දේශපාලන පක්ෂ 5 ක් සහ සිවිල් සංවිධාන විස්සක් සහ වෘත්තිය සමිති 18 ක් නියෝජනය කරමින් එහි නියෝජිතයින් සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා සමඟ ජාතික සම්මුතියට එළඹීම ඉන් අනතුරුව සිදු කෙරුණා.
ඒ අනුව ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා එක්සත් වාමාංශික පෙරමුණ, මෙලෙස සම්මුතියට එළඹි දේශපාලන පක්ෂ වනවා.
සමගි ජන බලවේගයේ කටයුතු අද මෙලෙස ආරම්භ කළ ද ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන ලකුණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ මේ වනවතුරුත් එකඟතාවට පැමිණ නැහැ.
ඊයේ පස්වරුවේ රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබුණේ ඉදිරි මහ මැතිවරණය සඳහා “සමගි ජනබලවේගය ඩොට් එක්සත් ජාතික පක්ෂය” ලෙස අලියා ලකුනින් තරග කිරීමටයි. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතුලු පිරිසක් ඊට එරෙහිවී තිබුණා.
හදවත නව සන්ධානයේ ලාංඡනය ලෙස යොදාගැනීමට මින් පෙර සාකච්ඡාවූ අතර, පසුව හංසයා ලකුණ පිළිබඳව සංවාදයක් ඇතිවුණා. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ වාර්තාවුණේ නීති ප්‍රශ්න කිහිපයක් පැනනැගීම හේතුවෙන් හංසයා ලකුණ අත්හැර දැමීමට තීරණය කර ඇති බවයි.
ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අලියා ලකුණින් තරග වැදීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ගේ එකඟත්වය ලැබුණු බවයි.
එමෙන්ම නව සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂයට එක්විය හැක්කේ එහි ව්‍යවස්ථාවට නීතිමය පිළිගැනීමක් ලැබීමෙන් පසුව බවද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.
Share This Article