'ඉන්දියාවේ ගතකළ කාලය මගේ ජීවිතයේ සුන්දරම කාලයයි'- මෙලනියා එක්ක රණ්ඩු වෙවී මෝදි බලන්න, ලෝක බලවතා ඉන්දියා ගිය ගමන
Monday, 02 March 2020 - 11:37 | Views - 1,189
ලෝක දේශපාලන හා ආර්ථික බලතුලනයේ නව පැතිකඩක් සනිටුහන් කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ඉන්දීය සංචාරය පෙබරවාරි 24 වන දින ආරම්භ කළේය.
 
ලොව පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ නායකයා සහ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ නායකයාගේ හමුවීම ලොව පුරා මාධ්‍යයන්හී දැඩි අවධානයට ලක්වූ කාරණයක් වූ අතර ඉන්දියාව, ”බලවත් රටවල් දෙකක් - එක මිතුරුකමක්” යන තේමාවෙන් ඉහළම රාජ්‍ය ගෞරව සහිතව ට්‍රම්ප් පිළිගැනීමට කටයුතු කර තිබිණි.
 

ට්‍රම්ප් ඉන්දියාවට ගොඩ බැසීමට දින ගණනාවකට පෙර එක්සත් ජනපද කාගෝ ගුවන්යානා තුනක් අහමදාබාද් ගුවන්තොටුපළ වෙත පැමිණුන අතර එම යානාවලින් සංචාරයට අදාළ මෝටර් රථ, භාණ්ඩ, සන්නිවේදන උපකරණ රාශියක් හා ”මැරීන් වන්” හෙලිකොප්ටරයද රැගෙන එන ලදි.
 
”ද බීස්ට්” නමින් හැඳින්වෙන විදුලියෙන් ක්‍රියාකරන කැඩිලැක් ලිමොසින් රථ දෙක ජනාධිපතිවරයා හා ආර්යාවගේ ගමන් සඳහා භාවිතා කරන මෝටර් රථ වේ.

මේවා විශේෂ වෙඩි නොවදින රථ වන අතර වොෂින්ටන් ඞී.සී.800-002 අංක තහඩු දරයි. විශේෂ සන්නිවේදන සහ මිසයිල ආරක්‍ෂණ පද්ධතිවලින් සන්නද්ධ මැරීන් වන් හෙලිකොප්ටරය ජනාධිපතිවරයාගේ කෙටි ගුවන් ගමන් සඳහා යොදා ගැනේ.
 
සංචාරයට සති කිහිපයකට පෙර සිට එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව සම්බන්ධ කටයුතු කිරීමට සී. අයි. ඒ. නිලධාරීන් හා ආරක්‍ෂක උපදේශකයන් ඉන්දියාව වෙත පැමිණි අතර ඉන්දීය විශේෂ ආරක්‍ෂක බළකායේ සාමාජිකයන් ( ඉන්දීය විශේෂ ආරක්‍ෂක බළකාය අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ සමීපතම සාමාජිකයන්ට ආරක්‍ෂාව සැලසීම සඳහා පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවන ලද බළකායකි.
 
ඉන්දීය අගමැති හෝ ඔහුගේ පවුලේ සමීපතම සාමාජිකයන් ලොව කොතැනක සිටියත් ඔවුන්ගේ ආරක්‍ෂාව සැලසීම මෙම විශේෂ බළකාය විසින් සිදුකරනු ඇත.) සමගින් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් සංචාරය පුරාවට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙයට අතරව සුප්‍රසිද්ධ බ්ලැක් කැට්ස් බළකාය සමගින් කොමාණ්ඩෝ භටයන්ද ඇතුළත් ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා ඇත.
 
එක්සත් ජනපද ජනාධිපති ධුරය හා බැඳී ඇති ඉහළම වැදගත්කමක් ඇති සංකේතයන්ගෙන් එකක් වන ”එයාර් ෆෝස් වන්” ගුවන් යානාව පෙබරවාරි 24 වැනිදා අහමදබාද්හී සර්දාර් වල්ලභායී පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැසීමට පැය එක හමාරකට පෙර පෙරවරු 10.25 ට පමණ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණියේය.
 
එයාර්ෆෝස් වන් යානය පෙරවරු 11.55 පමණ ගුවන්තොටුපළට ළඟා වූ අතර එක්සත් ජනපද ජනාධිපතිවරයා සමග බිරිඳ මෙලානියා ට්‍රම්ප්, දියණිය ඉවන්කා ට්‍රම්ප්, බෑනා ජැරෙඞ් කුෂ්නර් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්ව සිටියහ.
 
ගුවන් යානය අසලටම ගිය මෝදි අගමැතිවරයා විසින් එක්සත් ජනපද ජනාධිපතිවරයා වැළඳගෙන උණුසුම් ලෙස පිළිගන්නා ලදි. අනතුරුව එක්සත් ජනපද ජනාධිපතිවරයා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් පිරිනැමුණු අතර විචිත්‍රවත් සංස්කෘතිකාංගද සංවිධානය කර තිබිණි.
 
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ පළමු දිනය පිළිගැනීම් සහ ඉන්දියාවේ විශේෂ ස්ථාන නැරඹීම සඳහා වෙන්කර තිබූ අතර දෙවන දිනය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ නිල භෝජන සංග්‍රහ සඳහා වෙන්කර ඇත.
 
ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය සංචාරයේ පළමු අංගය ලෙස අහමදාබාද්හි සබරමතී ගං ඉවුරේ පිහිටා තිබෙන සබරමතී ආශ්‍රමයට ගොස් මහත්මා ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අතර ආශ්‍රමය තුළට ඇතුල්වීමට පෙර නිහතමානී ලෙස අන් සියලූ දෙනා මෙන් සිය පාවහන් ගලවා ඇතුල්වීමට කටයුතු කරමින් සහ ආශ්‍රමයේ බිම වාඩිවී සිටිමින් විශේෂ ගෞරවයක් දැක්වීය. ආශ්‍රමය තුළ තබා ඇති ගාන්ධි තුමා සිය විවේක කාලයේදී කපු කැටීමට භාවිත කළ ”චර්කා” යන්ත්‍රය පරීක්‍ෂා කළ ට්‍රම්ප් එය ක්‍රියා කරවන ආකාරය අවබෝධ කර ගැනීමටද උත්සාහ දැරුවේය.
 
ගුවන්තොටුපළේ සිට සබරමතී ආශ්‍රමය දක්වාත් එතැන් සිට සර්දාරි වල්ලභායී පටේල් ක්‍රීඩාංගණය දක්වාත් වන කිලෝමීටර් 22 ක පමණ දුර අතර තුර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කැඳවන ලද නර්තන කණ්ඩායම් සහ ගායක ගායිකාවන් විසින් ”නමස්තේ ට්‍රම්ප්” රැලියේ අංගයක් ලෙස රෝඞ් ෂෝ පැවැත්වීමට කටයුතු කර තිබූ අතර එයට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වී ඇත.
 
සංචාරයට සති ගණනාවකට පෙර සිට ට්‍රම්ප් වෙනුවෙන් ඉන්දියාව සුන්දර කිරීමේ වෑයමක් ඉන්දීය බලධාරීන් විසින් ක්‍රියාත්මක කර තිබුණ අතර මාර්ග දෙපස පදික වේදිකා නවීකරණය කරමින් පැල්පත් හා යාචකයන් ප්‍රදේශයෙන් ඉවත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල දැඩි විවේචනයන්ට ලක්වීමටද මෝදිට සිදුව තිබුණි.
 
පසුව ට්‍රම්ප් සහ මෙලානියා සංචාරයේ උත්කර්ෂවත් පිළිගැනීම සඳහා අහමදබාද්හී සර්දාරි වල්ලභායී පටේල් ක්‍රීඩාංගණය වෙත කැඳවාගෙන යන ලදි. මාර්ගය දෙපස නායකයන් දෙදෙනාගේ ඡායාරූප සමග විවිධ සුබපැතුම් ප්‍රදර්ශනය කර තිබූ අතර ඇමෙරිකානු සහ ඉන්දියානු ධජ ළෙල දෙනු දක්නට ලැබුණි. ”බලවත් දෙරටක් - එක් මිත්‍රත්වයක්” සහ ”ලොව පැරණිම ප්‍රජාතන්ත්‍රවාදියා සහ ලොව ලොකුම ප්‍රජාතන්ත්‍රවාදියාගේ හමුව” යන ඒවා සුලභව දකින්නට ලැබුනි.
 
මාර්ග දෙපස තාප්ප ට්‍රම්ප්ගේ සහ මෝදිගේ සිතුවම්වලින් වර්ණවත්වී තිබිණි. තම උපන් ගම මෙන්ම දේශපාලන බලකොටුවද වන අහමදබාද්හී තමන්ගේ ශක්තිය ලෝකයට මෙන්ම ඉන්දියාවටද පෙන්වා සිටීමේ බලාපොරොත්තුවෙන් මෝදි කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබුණි. ට්‍රම්ප්ට ලැබුන ජනතා පිළිගැනීමෙන් ට්‍රම්ප්ටත් වඩා මෝදි උද්දාමයට පත්ව සිටි බව දැකගන්නට ලැබුනි.
 
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස හැඳින්වෙන මෙම ක්‍රීඩාංගණයේ එක් වරකදී 110000 ක පමණ පිරිසකට ආසන පහසුකම් ඇති බව කියැවේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ක්‍රීඩාංගනය විවෘත කරන ලද අතර ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන තරම් රැස්ව සිටි ඉන්දීය ජනතාව නමස්තේ ට්‍රම්ප් තේමාවෙන් යුතුව පිළිගැනීමේ රැලියකට සැරසී සිටියේය.
 
මෙය 2019 වසරේ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ඇමෙරිකාවේ සංචාරය කරන අතරතුර ට්‍රම්ප් විසින් හූස්ටන්හිදී පවත්වන ලද ”හෙලෝ මෝදි” රැලියට ඉන්දීය ප්‍රතිචාරය වන අතර රැස්ව සිටි අතිවිශාල ජනකාය ට්‍රම්ප් විශ්මයට සහ ප්‍රබෝධයට පත් කරන්නට සමත් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.
 
ට්‍රම්ප් රැලිය අමතන අවස්ථාවේ ජනතාව ට්‍රම්ප් දිනේවා.. මෝදි දිනේවා.. යනුවෙන් ප්‍රීතිඝෝෂා නගන අයුරු දකින්නට ලැබුනි. පසුගිය වසරේ ඇමෙරිකාවේ කොලරාඩෝහි පැවති රැලියකදී ට්‍රම්ප් පුරසාරමක් ලෙස පවසා තිබුණේ ඉන්දියාවේදී මිලියන 10 ක ජනතාවක් තමා වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නගනු ඇති බවයි.
 
ජනතාව අමතමින් ට්‍රම්ප් කියා සිටියේ දෙරට අතර මිලිටරි සහයෝගීතාව තීරණාත්මක ලෙස වර්ධනය කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් වටිනා ඇමෙරිකානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ඉන්දියාවට ලබාදීමේ නව ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් බවයි. මෙයට ඇපාචේ සහ එම්. එච්. 60 රෝමියෝ චොපර් ඇතුළු නවීන යුද උපකරණ ඇතුළත් වේ. ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය මෙන්ම ඉන්දියානු කැබිනට් මණ්ඩලයද පසුගිය සතියේ මෙම යෝජනාව අනුමත කර ඇත. මෙය ඉන්දියාවේ අසල්වැසියා මෙන්ම කලාපීය ප්‍රතිවාදියාද වන චීනයේ අවධානයට ලක්වන කාරණයක් වන බව නිසැකය.
 
රැස්ව සිටි ජනතාව අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ”ඉන්දියාව සෑම විටම අපගේ හදවත් තුළ ඉතා සුවිශේෂී ස්ථානයක් දරනු ඇත” යනුවෙනුයි. තම මිතුරා වන මෝදි අගමැතිවරයා වර්ණනා කිරීමටද අමතක නොකළ ට්‍රම්ප් ඉන්දියානු ක්‍රිකට් වල සිට බොලිවුඞ් සිනමාව දක්වා වන ජනප්‍රිය තරු කිහිපයකගේ නම් සඳහන් කිරීමටද කටයුතු කළේය. මේ අතර සචින් තෙන්ඩුල්කාර්ගේ නම සූචින් ටෙන්ඩුල්කාර් ලෙස වැරදි ලෙස උච්ඡාරණය කිරීමෙන් ඔහු සමච්චලයට ලක්විය.
 
රැලියෙන් අනතුරුව ට්‍රම්ප් යුවල අග්‍රා හි අමරණීය ආදර සැමරුම වන ටජ් මහල නැරඹීමට ගිය අතර හින්දු ජාතිකවාදී උත්තර ප්‍රදේශ් මහ ඇමැති යෝගී ආදිත්‍යනාත් විසින් රතු පලස් අතුරා ට්‍රම්ප් පිළිගනු ලැබිණි. මොනරුන් සහ අශ්වයන් ලෙස සැරසී සිදුකළ විචිත්‍රවත් නර්තන අංගයක් ට්‍රම්ප් පිළිගැනීම වෙනුවෙන් රඟදැක්වුනි.
 
ට්‍රම්ප් යුවල පැය භාගයකට අධික කාලයක් ටජ් මහල තුළ රැඳෙමින් කාලය ගත කළ අතර ඡායාරූප ගණනාවකටද පෙනී සිටීමට කටයුතු කරන ලදි. ඩොනල්ඞ් ට්‍රම්ප්ට ටජ් මහල සම්බන්ධයෙන් බෙහෝ දෙනෙක් නොදන්නා විශේෂ සම්බන්ධයක් තිබේ. 1990 දී ඔහු නිව් ජර්සි හි ඇට්ලැන්ටික් නගරයේ ලොව විශාලතම කැසිනෝ හෝටල් සංකීර්ණය විවෘත කළ අතර එය ”ට්‍රම්ප් ටජ් මහල්” ලෙස නම් කර තිබුණි.
 
ලොව ”අටවන පුදුමය” ලෙස ඇතැම් පුවත්පත් වාර්තා සහ දැන්වීම්වලින් විස්තර කෙරුණු එය ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව 2016 දී විකුණා දැමුන අතර ”හාඩ් රොක්” සන්නාමය යටතේ 2018 දී යළි විවෘත කරන ලදි.
 
එක්සත් ජනපද ජනාධිපතිවරයා ඉන්දියාවේ එකම ලෝක පුදුම ස්මාරකය වෙත ගිය පළමු වතාව මෙයයි. ”එය සැබැවින්ම ඇදහිය නොහැකි එකක්” ලෙස ඔහු කියා සිටියේය. ට්‍රම්ප් ටජ් මහලේ නිල අමුත්තන්ගේ පොතේ සටහනක් තබමින් ”ටජ්මහල ඉන්දියානු සංස්කෘතියේ පොහොසත් හා විවිධාකාර සුන්දරත්වයට කාලානුරූප සාක්‍ෂියක්” යැයි කියා සිටියේය.
 
ටජ් මහල් සංචාරයෙන් අනතුරුව ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව නවදිල්ලියේ අයි. ටී. සී. මෞර්ය හෝටලයේ ග්‍රෑන්ඞ් ප්‍රසිඩෙන්සියල් සුයිට් හි නවාතැන් ගෙන තිබේ. අති සුඛෝපභෝගී නිදන කාමර දෙකකින් යුත් මෙම පද්ධතියේ එක් රාත්‍රියක් ගත කිරීමට වැයවන මුදල ඉන්දීය රුපියල් ලක්‍ෂ අටක් පමණ වේ.
 
මේ අතර රාජ්‍යතාන්ත්‍රික සංචාරයට සමගාමීව වාමාංශික ක්‍රියාකාරීන් සහ ශිෂ්‍ය පිරිස් විරෝධතා රැස්වීම් පැවැත්වූ අතර ඔවුන් ”ට්‍රම්ප් ආපසු යනු” යි සඳහන් බැනර ඔසවාගෙන සිටියහ. පෙබරවාරි 24 වන දින පුරවැසිභාවය සංශෝධන පනතට එරෙහිව ස්ථාන කිහිපයක ප්‍රචණ්ඩකාරී ගැටුම් ඇතිවූ නමුත් ඒවා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල සංචාරයට බලපෑමක් වූයේ නැත. ට්‍රම්ප් පවසා තිබුණේ ”අභ්‍යන්තර ගැටලූ විසඳා ගැනීම සඳහා ඉන්දියාවට ශක්තිය ඇති බවයි.”
 
සංචාරයේ දෙවැනි දින වෙන්කර තිබුණේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහාය. ජනපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් බැහැරව නවදිල්ලියේ මෝටි බැග්හි නානක්පුර පිහිටි සර්වෝදය ද්විතීයික පාසලේ වාර්ෂික දින උළෙලට සහභාගි වෙමින් දරුවන්ගේ දක්‍ෂතා නැරඹීමට එක්වූ අතර දරුවන් සහ ගුරුවරුන් සමග සුහද කථාබහක නිරත විය.
 
ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා මෝදි අගමැතිවරයා විසින් දිවා භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබූ අතර සවස 5 ට නායකයන් දෙපළ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක සඳහා පෙනී සිටියහ. මාධ්‍ය සාකච්ඡාවේදී තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ නොකිරීමට දෙදෙනාම පරෙස්සම් වූ අතර වෙළඳ පරතරය පිළිබඳව හෝ තීරණාත්මක වෙළඳ ගිවිසුම් පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකරමින් එකිනෙකා වර්ණනා කරගැනීම පමණක් සිදුකරනු ලැබුණි.
 
අනතුරුව එක්සත් ජනපද ජනාධිපතිවරයා නවදිල්ලියේ රාෂ්ටුපති භවාන් හිදී ඉන්දියානු ජනාධිපති රාම්නාත් ගෝවින්ද් හමුවූ අතර සංචාරයේ පරිසමාප්තිය සටහන් කරමින් ඉන්දීය ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද නිල භෝජන සංග්‍රහයට සහභාගි විය. එහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා ”ඉන්දියාවේ ගතකළ කාලය මගේ ජීවිතයේ සුන්දරම කාලයයි. ඉක්මනින්ම නැවත පැමිණීම මගේ අපේක්‍ෂාවයි” යනුවෙන් පැවසීය. එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ පළමු ඉන්දීය සංචාරය සාර්ථක ලෙස අවසන් කරමින් එදින රාත්‍රියේ එයාර්ෆෝස් වන් ගුවන් යානයෙන් ට්‍රම්ප් ඇතුළු පිරිස එක්සත් ජනපදයට පිටත්වූ නමුත් ඒ මගින් කලාපීය සහ ගෝලීය දේශපාලන, අර්ථික හා මිලිටරි ක්‍ෂේත්‍රයන්හි ඇතිකළ කැළඹීම පහසුවෙන් යටපත් නොවනු ඇත.
 
නව ලෝක බලවතුන් ලෙස රුසියාව සහ චීනය වේගයෙන් ඉස්මතු වීම සහ ලෝක ආර්ථිකයේ චීන බලපෑමත් හේතුවෙන් ඉන්දියාවේ භූමිකාව එක්සත් ජනපදයට පෙර නොවූ විරූ ලෙස වැදගත්වී තිබේ. ලොව හතරවන යුද බලවතා වන ඉන්දියාව තමන්ගේ පැත්තේ තබා ගැනීමත්, කෝටි 140 කට ආසන්න ඉන්දියානු වෙළඳපොළ ඇමෙරිකානු නිෂ්පාදන සඳහා විවරකර ගැනීමත්, එමගින් එක්සත් ජනපදය මුහුණදී තිබෙන උග්‍ර වෙළෙඳ හිඟය සමනය කර ගැනීමත් ට්‍රම්ප්ගේ ඉන්දියානු සංචාරය පසුපස ඇති සැබෑ අරමුණු බව සැඟවිය නොහැක.
 
තම තමන්ගේ ආර්ථික හා දේශපාලන අභිප්‍රායන් සපුරා ගැනීම පිණිස වන කේවල් කිරීම නායකයන් දෙදෙනාම රාජ්‍යතාන්ත්‍රික ධර්මතාවන්ට අනුව සිදුකරනු ඇති බවට සැකයක් නැත.
 
උපුටා ගැනීම - දිවයින පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top