54 හැවිරිදි කාන්තාවක් විවාහ කරගන්න බව කියමින් 28 දෙදරු පියෙක් කරපු වැඩේ
Friday, 28 February 2020 - 9:46 | Views - 529

54 හැවිරිදි කාන්තාවක පෙම්වතිය කරගනිමින් එම කාන්තාවගේ බැංකු කාඩ්පතින් විසිඅට ලක්ෂ හැට දහසක මුදලක් සොරාගත් 28 හැවිරිදි දෙදරු පියකු වූ පුද්ගලයකු බදුල්ල, මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තමන් අවිවාහක යැයි කියමින් විවාහ යෝජනාවක් මඟින් 54 වියැති කත විවාහ කරගැනීමට කැමැත්ත පළකර ඇගේ පෙම්වතා වූ මෙම සැකකරු බදුල්ල රොක්හිල් ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහක දෙදරු පියකු බවද පොලිසිය පවසයි.
ඔක්කම්පිටිය පාර, බුත්තල ප්රදේශයේ පදිංචි මෙම කාන්තාවට අයත් ඉඩමක් මීට මාස දෙකකට ඉහතදී රුපියල් එක්කෝටි තිස්හතර ලක්ෂයකට (1,34,00000) විකුණා ඇති අතර එම මුදල් මොනරාගල ප්රදේශයේ බැංකු ශාඛාවක ගිණුමක් අරඹමින් එම ගිණුමට බැර කරගෙන තිබේ.
එම අවස්ථාවේදී ඇය සමඟ විවාහ වන බව කියා සමීප වී සිටි පුද්ගලයාද බැංකුවට ගොස් ඇති අතර බැංකු කාඩ්පත කාන්තාවට ලබාදෙන අවස්ථාවේදී මොහු විසින් තමා සන්තකයේ ඇති වෙනත් කාඩ්පතක් මාරුකර එම කාන්තාවගේ කාඩ්පත සොරාගෙන ඇත. ඉන්පසුව සැකකරු අවස්ථා 48කදී බදුල්ල හා අවට ප්රදේශවල ඇති මුදල් ගැනීමේ යන්ත්රවලින් විසිඅට ලක්ෂ හැට දහසක මුදල් ප්රමාණයක් සොරාගෙන ඇත.
තම ගිණුමේ මුදල් අඩුවීම සම්බන්ධයෙන් කුසුමලතා නමැති කාන්තාව බදුල්ල මූලස්ථාන පොලිසිය වෙත 24 වැනිදා පැමිණිල්ලක් සිදුකළ අතර ඇයගේ පැමිණිල්ලට අනුව ක්රියාත්මක වූ පොලිසිය ඇය රැවටීමට ලක්කළ 28 හැවිරිදි පෙම්වතා එදිනම අත්අඩංගුවට ගත්හ.
මෙම සැකකරු වෙනත් පුද්ගලයකුගේ බස්රථයක් මිලදී ගැනීමට රුපියල් 28,60,000ක මුදල යොදවා ඇති අතර එම මුදල් පැමිණිලිකාර කාන්තාවගේ ගිණුමෙන් සොරගෙන ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
Share This Article