ජනපති ට්‍රම්ප්, ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දියානුවන් ලක්ෂයක් අමතයි
Monday, 24 February 2020 - 20:12 | Views - 635

ආර්ථික, තොරතුරු තාක්ෂණ, අභ්‍යාවකාශ ආදී සියළු අංශයන් හි ඉන්දු - ඇමරිකානු සහයෝගීතාව වර්ධනය කරලීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ප්‍රකාශ කළා.
අගමැති මෝදිගේ පුරවරය වන ගුජරාටයේ අහමදා බාද් හි ඉදිකර ඇති ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන නැරඹුම් ආසන ලක්ෂයක් සහිත මොටේරා හෙවත් සර්ධාර් පටෙල් ක්‍රීඩාංගණයේදී ජනපති ට්‍රම්ප් කියා සිටියේ අගමැති මෝදි ශක්තිමත් නායකයෙකු බවයි.
ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත තර්ජනය මැඬලීමට ඉන්දියාව සමඟ එක්ව කටයුතු කරන බව පැවසූ ඔහු ඉන්දියාවට සන්නද්ධ හෙලිකොප්ටර් යානා ඇතුළු ඩොලර් බිලියන 3ක් වටිනා නවීනතම යුද උපකරණ ලබාදීමට සූදානම් බව ද සඳහන් කළා.
ඉන් අනතුරුව අග්‍රා පුරවරයට පැමිණි ජනපති ට්‍රම්ප්, මෙලානියා ආර්යාව, ඉවන්කා දියණිය සහ ජැරඞ් කුෂ්නර් බෑණනුවන්, ආදරයේ සංකේතය ලෙස සැලකෙන ටජ් මහල නරඹමින් දිගු වේලාවක් ගත කළේ ටජ් මහල පසුබිම් කොට ඡායාරූප ගනිමින්.
මේ අතර, ජනපති ට්‍රම්ප් අද රාත්‍රියේ පැමිණීමට නියමිත නවදිල්ලියේ පුරවැසි පනතට එරෙහි විරෝධතා උත්සන්න වී ඇති අතර, එහි ගැටුම්වලදී පොලිස් නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.
Share This Article