කොරෝනා බිලිගත් ජීවිත සංඛ්‍යාව 1874 දක්වා ඉහළට - ආසාදිතයන්ගේ සංඛ්‍යාව 73,336 ක්
Tuesday, 18 February 2020 - 20:57 | Views - 381

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1874 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 73,336 ක්. ඉන් 72,438 ක් වාර්තා වන්නේ චීනයෙන්.
ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් මගී නෞකාවේ වෛරසය ආසාදිතයන් 454 දෙනෙකු සිටින බවට වාර්තා පළවූ අතර, එය චීනයෙන් පිටත වාර්තාවන ඉහළම ආසාදිතයන් සංඛ්‍යාවයි.
එම නෞකාවේ ශ්‍රී ලංකාවේ දෙදෙනෙකු ද සේවය කරන අතර, ඔවුන් දෙදෙනා නිරෝගී තත්ත්වයෙන් පසුවන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළා.
මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සියයට 80කටම සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර ඔවුන් නියත වශයෙන් සුවය ලබනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ප්‍රකාශ කළා.
ජිනිවා නුවර දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආසාදිතයන්ගෙන් නියුමෝනියා තත්ත්වයට පත්වන්නේ සියයට 14කට අඩු ප්‍රතිශතයක් බවයි.
මේ අතර වුහාන් නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ රෝහලක අධ්‍යක්ෂවරයෙකුද එම වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ බව අද වාර්තාවුණා.
චීන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේ වුහාන් හි පිහිටි වූ-චැන්ග් රෝහලේ අධ්යක්ෂවරයා මෙලෙස මියගිය බවයි.
ඒ අනුව වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරමින් සිටියදී ජිවිතක්ෂයට පත්වූ දෙවන වෛද්‍යවරයා ඔහුයි.
මීට පෙර මෙම වෛරසය ආසාදනය වීමෙන් වෛරස් ව්‍යාප්තිය පිළිබඳව පළමුව අනතුරු ඇඟවූ වෛද්‍ය ලී වෙන්ලියෑන්ග් ජිවිතක්ෂයට පත්වුණා.
වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර සිදුකරන සෞඛ්‍ය සේවකයින් 6 දෙනෙකු මියගොස් ඇති අතර, 1716 දෙනෙකුට එය ආසාදනය වී තිබෙනවා.
Share This Article