පැහැරගත් කඩවත කොස්තාපල්ගේ සෙරෙප්පුවක් පන්නල රක්ෂිතයේ
Tuesday, 18 February 2020 - 19:40 | Views - 1,974

පැහැර ගැනීමට ලක්වූ කඩවත පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා පැළඳ සිටි පාවහන් යුගලයෙන් වම් සෙරෙප්පුව මෙහෙයුම් සිදුකළ පන්නල - කංකානියංමුල්ල රක්ෂිතයේ තිබී පොලීසියට හමුවී තිබෙනවා.
එසේම, එහි තිබී හමුවූ ලේ පැල්ලම් මිනිස් රුධිරය බවටයි අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් තහවුරු කර ඇත්තේ.
ඊයේ අළුයම සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ වීරකැටිය ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකු වන අතර, ඔහු කඩවත පොලීසියට අනුයුක්තව රියදුරෙකු ලෙස සේවය කරන කොස්තාපල්වරයෙක්.
පොලිස් සුනඛයින් ද යොදවා අද දිනය පුරා අදාළ රක්ෂිතයේ මෙහෙයුම් සිදුකළ ද කොස්තාපල්වරයාව මෙතෙක් හමුවී නැහැ.
මොහු 2018 පෙරබවාරි 23 වනදා වත්තල ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ඞී. මංජු නමැත්තාගේ බිරිඳගේ නැන්දණිය සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිිබෙනවා.
47 හැවිරිදි එම කාන්තාව ඞී. මංජුගේ බිරිඳගේ නිවසේ නතර වී සිට ඇති අතර පෙරේදා රාත්රියේ ඇය පොලිස් කොස්තාපල්වරයාට දුරකතන ඇමතුමක් ලබාදී ප්රකාශ කර ඇත්තේ සිය වැඩිමහල් පුතු වන බන්ටි තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටින බවයි.
ඒ අනුව එදින රාත්රියේම අදාල පොලිස් කොස්තාපල්වරයා එම නිවසට පැමිණ තිබෙනවා.
කොස්තාපල්වරයා නිවසේ සිටින බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව බන්ටි නමැත්තාද නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයා නිවසේ සැඟව සිට ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල්වරයා අදාල කාන්තාව සමඟ කිරිබත්ගොඩ - හුණුපිටිය ප්රදේශයේ හෝටලයක් වෙත ගොස් ඇති අතර පසුදා අළුයම එම කාන්තාව ඩී මංජුගේ බිරිඳට දුරකතන ඇමතුමක් දී සඳහන් කර ඇත්තේ තමාට ආහාර රැගෙන පැමිණෙන ලෙසයි.
ඒ අනුව ඞී මංජුගේ බිරිඳ සහ ඇගේ සහෝදරයා යතුරුපැදියකින් රොටි සහ දුම්වැටි කිහිපයක් රැගෙන ගොස් ඇති අතර පොලිස් කොස්තාපල්වරයාට අදාල කාන්තාව ප්රකාශ කර ඇත්තේ හෝටලයෙන් මඳ දුරක් ගොස් එම ආහාර භාරගන්නා ලෙසයි.
ඒ අනුව යතුරුපැදියෙන් පැමිණි ඩී මංජුගේ බිරිඳගෙන් ආහාර ලබා ගන්නවාත් සමඟ ඊට පිටුපසින් ත්රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් අදාල පොලිස් කොස්තාපල්වරයාට පහර දී පැහැරගෙන ගොස් තිබෙනවා.
එම සිදුවීම සී.සී.ටී වි කැමරාවල ද සටහන් වී ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිිසිය අනාවරණය කරගෙන ඇත්තේ අදාල කාන්තාවගේ වැඩිමහල් පුත්රයා වන බන්ටි නමැත්තා සහ තවත් පිරිසක් එලෙස ත්රීරෝද රථයෙන් පැමිණ ඇති බවයි.
පසුව ඔවුන් මෙම කොස්තාපල්වරයා පන්නල ප්රදේශයේ සිටින අදාල කාන්තාවගේ බාල පුතුගේ නිවසට රැගෙන ගොස් ඇති අතර එතැන් සිට කොස්තාපල්වරයා අතුරුදන් බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
අතුරුදන්ව සිටින කොස්තාපල්වරයා පැළඳ සිටි දකුණු පාදයේ සෙරෙප්පුව පැහැර ගත් ස්ථානයේ තිබී සොයාගත්තා.
ලේ පැල්ලම් සහ වම් පාදයේ සෙරෙප්පුව රක්ෂිතයේ තිබී හමුවීමත් සමඟ මොහු පන්නල - කංකානියංමුල්ල රක්ෂිතයට රැගෙන එන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
මේ වනවිටත් පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාව පැවැත් වූ කාන්තාව සහ ඩී මංජුගේ බිරිඳ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, පැහැර ගැනීම සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
අදාළ කාන්තාවගේ සැමියා මේ වනවිට මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට බන්ධනාගාර ගතව සිටින අතර පොලිස් කොස්තාපල්වරයා ද මත්කුඩු අලෙවි කිරීමට එම කාන්තාවන්ට සහය ලබාදී ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
Share This Article