තලගොයින් මරා පුළුස්සමින් සිටි හයක් වනජීවි දැලේ පැටලෙයි (ඡායාරූප)
Sunday, 16 February 2020 - 18:50 | Views - 401
නාඋල, පුබ්බිලිය, බඹරගහ වත්ත රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී තලගොයින් මරා පුළුස්සමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ (15) අත්අඩංගුවට ගැනීමට වනජීවි නිලධාරින් සමත්ව තිබෙනවා.
මෙම සැකකරුවන් සමඟ ඝාතනය කළ තලගොයින් අටදෙනකු ද සොයාගැනීමට හැකිව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඇලහැර වනජීවී කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු රජයේ රක්ෂිතය තුළ ගින්නක දුමක් දැක ඒ පිළිබඳව සෝදිසි කිරීමේදී පුද්ගලයන් තලගොයින් මරා පුළුස්සමින් සිට ඇති බව අනාවරණය කර ගැනීමට හැකිව ඇති අතර පසුව සිදුකළ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුබ්බිලිය,මාලගමුව, ගලේවෙල සහ මනන්වත්ත යන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අලෙවි කිරීම සඳහා මෙලෙස තලගොයින් මරා පුළුස්සා මස් රැගෙන යන බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම තලගොයි මස් සංචාරක හෝටල් වලට ඇතැම් ව්‍යාපාරිකයන් ගේ නිවෙස් වලට සහ විවිධ උත්සව අවස්ථාවලට අලෙවි කරන බවට වැඩිදුරටත් කරුණු අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් නාවුල පොලිසියට භාරදී ඇති අතර අද (16) දින ඔවුන් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
Share This Article