වාසනාව සහ අවාසනාවට මුල් වන්නේ ඔබේ දේහ ලක්ෂණ ද?
Friday, 14 February 2020 - 10:27 | Views - 872

යම් පුද්ගලයෙකුගේ දේහ ලක්ෂණ අනුව ඔහු හෝ ඇයගේ ගතිගුණ ගැන නිගමනවලට එළඹීම සාමාන්‍ය ජන ජීවිතය තුළ බහුලව දැකිය හැකි තත්ත්වයකි.
දේහ ලක්ෂණ අනුව ගතිගුණ ගැන නිගමනවලට එළඹීමෙන් ඇතැමුන් වෙනස් කොට සැලකීමද සමාජය තුළ දක්නට ලැබේ.
"මගේ කකුලේ දෙවෙනි ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා කුඩාවට පිහිටලා තිබෙන්නේ. මම පුංචි කාලේ ඉඳන් මේ දේට මිනිස්සු මට එක එක දේවල් කිව්වා. මට මෙය දැඩි මානසික වදයක් වුණා. හැබැයි මම කොහොම හරි ඒවා විඳ දරා ගත්තා. නමුත් කසාද බැන්දට පස්සේ සියල්ල වෙනස් වුණා," නම හෙළි කිරීමට අකමැති කාන්තාවක බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළාය.
"දෙවෙනි ඇඟිල්ල පුංචි වුණා ම ස්වාමි පුරුෂයා මැරෙනවා කියලා හැමෝම මට කියනවා. මගේ සැමියාගේ පවුලේ අය මට සෑහෙන්න දොස් කියනවා මේ දේට. එයාලගේ හිතේ ඒ අයගේ පුතා මැරෙයි කියලා මම නිසා. මගේ සැමියා මේවා මුලින් විශ්වාස නොකළට, හැමෝම කියන කොට එයත් ටිකක් වෙනස් වුණා."
"මම මොන වැඩේ කරන්න ගියත් සැමියාගේ ගෙදර අය මගේ කකුලේ ඇඟිලි දිහා බලාගෙන ඉන්නවා. දැක්ක තැන අපහාස කරනවා. අපි ජීවත් වෙන්නේ සැමියාගේ මහගෙදර. මේ කරදර නිසා මම දරුණු විදිහට මානසික පීඩනයක ඉන්නේ," ඇය හැඬූ කඳුළින් පැවසුවාය.
දේහ ලක්ෂණ ගැන සමාජයේ පවතින මත මොනවා ද?
කාන්තා දේහ ලක්ෂණ
පාදයේ දෙවන ඇඟිල්ල මහපට ඇඟිල්ලට වඩා දිගින් වැඩි නම්, ඇය සිය සැමියා යටත් කර ගනියි.
පාදයේ දෙවන ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා කුඩා නම් ඇයගේ සැමියා අකාලයේ මිය යයි.
පුළුල් උරහිස් සහ කෙටි ඇඟිලි පිහිටා ඇත්නම් ඇය කම්සැපට ඇල්ම දක්වන්නියකි.
ඇකිළුණු උරහිස් ඇති තැනැත්තියට සැප සම්පත් අඩු වේ.
පැතලි ගෙල ප්‍රදේශයක් හෝ ගෙලෙහි සුළියක් පිහිටීම අශුභ ලක්ෂණයක් ලෙස සැලකේ.
නිකටේ ලපයක් ඇති තැනැත්තිය වාසනාවන්ත යැයි පැවසේ.
ගෙලෙහි රේඛා තුනක් පිහිටන කාන්තාව වාසනාව සහ සමාජයේ ගෞරවයට පාත්‍ර වේ.
කුඩා මුවක් පිහිටන අය ලැජ්ජාශීලී, ගුප්ත චරිත වේ.
විශාල මුවක් පිහිටා ඇති තැනැත්තියන් ආහාරවලට ගිජුවන අතර, කතා බහට කැමතිය.
පළල් පරතරයකින් පියයුරු පිහිටා ඇති තැනැත්තිය අශුභ පළ ගෙන දෙයි.
අඩවන් වූ දෙනෙත් ඇති තැනැත්තිය සිය සැමියාට ලෙන්ගතුය.
සිනාසෙන විට දෙකම්මුල් වල ගැසෙන තැනැත්තිය වාසනාව උදා කරයි.
රෝස පැහැති දෙතොල් වාසනාව උදා කරයි.
තද පැහැති දෙතොල් පිහිටා ඇත්තී නිවසට අවාසනාව ගෙන එයි.
සමව පිහිටි උකුල සැප සම්පත් ලබන්නියකි.
මහත් වූ ඉඟටියක් සහ කුඩා උකුල් තලයක් පිහිටි කාන්තාව කලහකාරීය.
ශරීරයේ රෝම වැඩිපුර ඇති තැනැත්තී ඉතා දඩබ්බරය.
ගමනේදී පාදවල ශබ්දයක් ඇසේ නම් සැමියාට අපල ගෙනෙන අතර, ගුප්ත ආශාවන් ඇති කාන්තාවකි.
උඩු ඇන්දේ ඉදිරිපස දත් දෙක මැද හිඩැසක් ඇත්නම් පුරුෂ වසඟයට දක්ෂය.
දෙතොල සමබරව ඇත්තී ආලවන්තය.
දිගු ගෙළක් පිහිටන්නේ නම් උපායශීලී තීක්ෂණ බුද්ධියක් ඇත්තියකි.
පුරුෂ දේහ ලක්ෂණ
දිගැටි දෑඟිලි පිහිටා ඇති තැනැත්තා කලාවට ලැදිය.
විශාල දෑස් ඇති තැනැත්තා අන් අය මුසාවෙන් මුලා කරන අතර, අනියම් සම්බන්ධතා පවත්වනු ලබයි.
සිහින් දිගැටි දෑස් ඇති තැනැත්තා ස්ත්‍රීන් ප්රියකරන්නෙකු වන අතර, ධනවත් පුද්ගලයෙකු ලෙස සැලකේ.
නළලේ රේඛා තුනක් පිහිටන පුද්ගලයා සෞඛ්‍ය සම්පන්න ලෙස දිගු කලක් ජීවත් වේ.
නිතර ඇස් පිය හෙලන තැනැත්තා වංචාකාරී කපටි අදහස් ඇති පුද්ගලයකු වේ.
දිගු නාසයක් පිහිටා ඇති පුද්ගලයන් කලාවට ලැදි, ජනාදරයට පත් චරිත බවට පත් වේ.
පැතලි නාසයක් ඇති තැනැත්තා කුරිරු ගති ලක්ෂණ ඇත්තෙකි.
සිහින් නාස් පුඩු පිහිටා ඇත්නම් ඔහු වාසනාවන්තය.
විශාල නාස් පුඩු පිහිටා ඇත්නම් අන් අයට ගරහන පුද්ගලයෙකි.
නිතර චලනය වන දෑස් පිහිටන්නේ නම් නම් ඔහු තීක්ෂණ උපක්‍රම සහිත වූ ආත්මාර්ථකාමී, අන්‍යයන් උපායෙන් රවටා සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකි.
පපුවේ රෝමකූප පිහිටා ඇත්නම් ඔහු කරුණාවන්ත පුද්ගලයෙකි.
ශරීරයේ රෝමකූප පිහිටා නැත්නම් ඔහු අවාසනාවන්තය.
සිනිඳු රෝම පිහිටා තිබෙන පුද්ගලයා අනුකම්පා සහගත, සංවේදී පුද්ගලයකි.
ඇහි බැමි එකට යාවී ඇති පුද්ගලයාගේ විවාහ ජීවිතය අයහපත්ය.
එල්ලා වැටෙන ස්වභාවයේ තොල් පිහිටා ඇති පුද්ගලයා මුසාවාද පවසන්නෙකි.
උඩු රැවුල ඇති පුද්ගලයා සියල්ලන් සමග සුහදව කටයුතු කරයි.
උදරය මනාව වටකුරුව පිහිටා ඇති තැනැත්තා වාසනාවන්ත, ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයෙකි.
උදරය ඉදිරියට නැඹුරු වූ තැනැත්තා සිය අභිමතාර්ථ කෙසේ හෝ ඉටුකර ගැනීමට ක්‍රියාකරයි.
රත් පැහැයට හුරු දෑස් ඇති තැනැත්තා ඉක්මනින් කෝපයට පත් වේ.
කවාකාර විශාල කන්පෙති පිහිටා ඇති තැනැත්තා උගත්, බුද්ධිමත් සහ සෘජු ගති ඇති අයෙකි.
පුද්ගලයන් අතර විවිධ දේහ ලක්ෂණ පිහිටීම සාමාන්‍ය දෙයක් ද?
පුද්ගලයන් එකිනෙකා අතර බොහෝ වෙනස්කම් පවතින අතර, එය ස්වභාවික පිහිටීම විනා රෝගයක් නොවන බව පවුල් සෞඛ්‍ය උපදේශකවරියක සහ කථිකාචාර්යවරියක වන විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
"එකම පවුලක දරුවන් දෙදෙනෙකු අතර පවා වෙනස්කම් පවතින්න පුළුවන්. නමුත් මේ දේවල් පැවැත එන්නේ ඒ අයගේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. ඒ කියන්නේ ජානවලින්. මේ දේවල් මත යම් කෙනෙකුගේ ගති ලක්ෂණ ගැන තීරණය කිරීම අපහසුයි."
"නමුත් මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. මේ විශ්වාස පැවැත එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. අපේ මුතුන් මිත්තෝ යම් දේවල් නිරීක්ෂණය කර විවිධ විශ්වාස නිර්මාණය කර තිබෙනවා," වෛද්‍යවරිය පැවසුවාය.
"උදාහරණයක් ලෙස, කාන්තාවක් වැඩිවියට පත් වූ පසු නිවසින් පිටතට යන්න එපා කළු කුමාර දිෂ්ටිය වැහෙයි කියලා තවමත් කියනවා. මෙයට සැබෑ හේතුව වන්නේ, දැරියක් වැඩි වියට පත් වූ පසු අතවරයකට ලක් වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම එහි ප්‍රතිඵලයක් ලෙස ගැබ් ගන්න පුළුවන්."
"මේ නිසා කළු කුමාර දිෂ්ටියක් ගැන කියලා දරුවන් ආරක්ෂා කර ගන්න බලනවා. මේ දේවලුත් ඒ වගේම වෙන්න පුළුවන්. යම් නිරීක්ෂණවලින් මේ වගේ නිගමනවලට ඇවිත් තියෙන්න පුළුවන්. නමුත් විද්‍යාවට අනුව මේ දේහ ලක්ෂණ යම් කෙනෙකුට ලැබෙන්නේ ජානවලින්. ඒ මත වාසනාව, අවාසනාව තීරණය කරන්න අපහසුයි," වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.
'කට කළුවා ගෙට නපුරා'
"පොඩි කාලේ ඉඳන් මගේ තොල් අවපැහැයයි. ඒ හා සමාන පැහැයේ තොල් තමයි අපේ තාත්තාගේත් තිබෙන්නේ. නමුත්, මගේ තොල්වල පැහැය නිසා ගෙදරට අවාසනාවන්තයි කියල ඔවුන් කියනවා. 'කට කළුවා ගෙට නපුරා' කියලා මට බොහෝ දෙනෙක් විහිළු කරනවා," යැයි නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි තවත් කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසීය.
"පොඩි කාලේ මගේ හිත බොහොම රිදිලා, මානසිකව වැටුණත්, වැඩිවියට පත් වෙන කොට මම ඒ කිසි දෙයක් නෑහෙන ගානට ඉන්න පටන් ගත්තා. ඒ වගේම රූපලාවණ්‍ය ක්‍රියාකාරකම්වලින් මගේ දෙතොල් අන් අය දැකීමට කැමති විදිහට හදාගත්ත," යැයි ඇය තවදුරටත් පැවසුවාය.
"ලක්ෂණ සඟවන්න ඕනෑ තරම් ක්‍රම තිබෙනවා"
නවීන ලෝකයේ දියුණු රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කරමින් බොහෝ දේහ ලක්ෂණ වෙනස් කළ හැකි බව රූපලාවණ්‍ය ශිල්පිනී නිලෝමා පීරිස් පැවසුවාය.
"මුහුණේ තිබෙන විවිධ ලක්ෂණ, උපන් ලප වගේම රෝම ඉවත් කරන්න හෝ සඟවන්න රූපලාවණ්‍ය ක්‍රමවලින් පුළුවන්. කාන්තා, පුරුෂ දෙපාර්ශවයම දැන් මේ දේවල්වලට යොමු වෙලා ඉන්නවා. ලේසර් තාක්ෂණය වගේම සාම්ප්‍රදායික ක්‍රම අනුවත් මුහුණේ, ඇඟේ ස්වභාවික දේ වෙනස් කරන්න පුළුවන්."
"උදාහරණයකට, ඇහි බැමි දෙක එකට යා වුණ අය අවාසනාවන්තයි කිව්වාට, එහෙම අය ඇහි බැමි රූපලාවණ්‍ය ක්‍රම ඔස්සේ හදාගත්තට පස්සේ, ඒ අය සාමාන්‍ය පුද්ගලයන් විදිහට සමාජය දකිනවා," ඇය පැවසුවාය.
BBC
Share This Article