වයස අවුරුදු අටේ දී ඩෙංගු උණ හැදිලා මියගිය දුව නැති දුකට ජීවිතය නැතිකරගත්ත සමන්ගේ භූතාත්මය කරපු දේ
Monday, 10 February 2020 - 10:05 | Views - 575
මේ සංසාර ගමනේ ආරම්භයේ කවදා කොතැනක දී හෝ සම්බන්ධව උපන් දා පටන් මේ දක්වා කෝටි ප්‍රකෝටි ආත්මවල අප ඉපදෙන්නට ඇත. ඒ අනුව අපට මවුපිය ගුරුවර අඹු සැමි දූ දරු සහෝදරාදී ඥාතීන් වූ ප්‍රමාණය ද කෝටි ප්‍රකෝටි අනන්ත වූ ගණනකි. මේ ලෝකයේ ද මේ ලෝකය ඉක්මවා සියලු චක්‍රාවාටවල සියලු ලෝකවල සියලු සත්ත්වයන් අපේ මවුපිය ඥාතීන් වන්නට ඇත. මිනිසුන් දෙවියන් ‍රජ සිටු පොහොසත් දුප්පත් අය මෙන් ම බලු බළල් තිරිසන් සතුන් ද අනන්ත වූ ප්‍රේතාදීන් ද අපේ ඥාතීහු ම ය.
 
මේ ජාතියේ මවුපිය අඹුසැමි දූ දරුවන්ව ම සිතින් බදාගෙන මහත් වූ ඇලීමකින් මහත් වූ දුකක් විඳිති. මිනිස් ලොවෙන් මරණයට පත් වන මිනිසුන්ගෙන් සියයට අනූපහක් ම අත් නොහළ රාග, ද්වේෂ, මෝහ නිසා මරණින් මතු උපදින්නේ භූතාත්මවලය. නැතහොත් තිරිසන් ආත්මවලය. මේ භූතාත්මවල උපන් අයට අපට මෙන් මනසක් නැත. ඔවුන්ට ඇත්තේ ඉතා ප්‍රබලවූ ඉවක් වැනි දැනීමකි. ඒ දැනීමට තම තමන්ගේ ඥාතීන් හඳුනා ගැනීමේ හැකියාව ඇත. අප පින්කමක් කරන විට අන්න අපේ දරුවන් පින් කමක් කරනවා යැයි අපේ දාන මාන පින්කම් කරන ස්ථානවලට හඹා ගෙන පිරිවර සමඟ ලක්ෂ කෝටි ගණනින් පින් ගන්නට පැමිණෙති.

මේ තත්ත්වය ගැන ආර්යන් වහන්සේගෙන් බණ නෑසූ පෘථග්ජනයා නොදනිති. ඒ නිසා පින් අනුමෝදන් කරන විට ප්‍රථමයෙන් ම සියලු ලෝක සියලු සත්ත්ව සියලු ඥාතීන්ට පින් දිය යුතුය. මේ ජාතියේ අයම බදාගෙන සිටීම ද තණ්හාවක් ලෝභකමක් ඇලීමක් නිසා එය සම මෙතක්, සම කරුණාවක් වන්නේ ද නැත. මේ ජාතියේ ඥාතීන්ට දෙවනුව පින් දිය යුතුය. තුන් වෙනුව එසේ ඥාතීන් නොවන අයට පින් දිය යුතුය.
 
රත්මලානේ ප්‍රියානි හතළිස් හැවිරිදි දෙදරු මවකි. දොළොස් හැවිරිදි මධුර පුතා පාසල් සිසුවෙකි. දියණිය තනුජා ඩෙංගු රෝගය වැලඳී 2015 දී මිය ගොස් ඇත. මේ දුවගේ වියෝවෙන් දුකට පත් පියා සමන් පාපැදියෙන් ගමන් කරද්දී දුම්රියක හැපී දුවගේ මරණයෙන් මාස හතරකට පසු මරණයට පත්ව ඇත.
 
දැන් ශ්‍රියානිගේ නිවසේ රාත්‍රියට ශබ්ද ඇසෙන්නට පටන්ගෙන ඇත. කෙනෙකුගේ සෙවණැල්ලක් ඡායාවක් තමන් අසලින් එහා මෙහා ගමන් කරනු ප්‍රියානිට දැනෙයි. ඒ අවස්ථාවට සුළඟක් හමා යන බවක් ශරීරයට ස්පර්ශ වේ. එසේම දුර්ගන්ධයක් ද පැතිර යයි. මේ මවත් පුතාත් හීනෙන් බියට පත්ව අවදි වෙන්නට ද වූහ. මුළු නිවස ම අඳුරු බවකට පත්ව ඇත. මිය ගිය ස්වාමි පුරුෂයා විටින් විට “ප්‍රියානි... ප්‍රියානි...” යි ඇගේ කනට කොඳුරන හඬ ද ඇසෙන්නට විය.
 
මේ තත්ත්වයෙන් මිදෙන්නට “සිළුමිණ” පත්‍රයේ පළවන ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ‍ගෙන ප්‍රියානි පුතණුවන් සමඟ පැමිණියාය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළාය.
 
පළමු රෝග පරීක්ෂාවේදී ම ප්‍රියානි අඬන්නට වූවාය. දිගින් දිගටම ඉකිබිඳ අඬන්නට වූවාය. භූතාත්මයක බලපෑම ක්‍රියාත්මක බව වටහාගත් ගවේෂකවරයා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා අවසානයේ සම මෙත පතුරුවන්නට පැහැදිලි කැර දුන්නේය. අන්තිමට සංසාර ගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන ලෙස ද ඊළඟට මිය ගිය පවුලේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන ලෙස ද තුන් වෙනුව එසේ ඥාති නොවන කෙනෙක් වේ නම් පින් අනුමෝදන් කරන ලෙස ද උපදෙස් දුන්නේය.
 
ලොව්තුරු බුදුවරු සියයකට දන් දෙනවාටත් වඩා එක මොහොතක් සියලු ලෝක සියලු සත්ත්වයන් කෙරෙහි සම මෙත පැතිරීම මහත් ඵල මහා නිසංස යැයි බුදුරජාණන් වහන්සේ වේළාම සූත්‍රයේ දේශනා කොට ඇති අයුරු ඔවුන්ට පැහැදිලි කර දුන්නේය.
 
බෝධි පූජා අවසන් ‍‍කොට ඔවුහු ප්‍රතිකාර සඳහා නැවත පැමිණියහ. එදින ගවේෂකවරයා ඔවුන් වෙත ශක්ති කිරණ එල්ල කරන විට ප්‍රියානිගේ ශරීරයෙන් භූතාත්මයක් දිෂ්ටි ගැන්වී අඬන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
 
“කවුද මේ ශරීරයට රිංගා ගෙන අඬන්නේ?” ඇසීය.
“මම සමන්” භූතාත්මය උත්තර දුන්නේය.
“කවුද සමන් කියන්නේ?”
“මේ ප්‍රියානිගේ මහත්තයා, මධුර පුතාගේ තාත්තා”
 
ප්‍රියානි පියවි සිහියට පත් කළ ගවේෂකවරයා සමන් පිළිබඳ තොරතුරු ඇගෙන් ප්‍රශ්න කළේය.
ඇය සිය සැමියා පිළිබඳ විස්තර කළාය.
 
“සමන් හරි ම සංවේදී පුද්ගලයෙක්. අපට හරිම ආදරයෙන් කරුණාවෙන් සැලකුවා. අපේ දුව තනුජා හරිම හුරතල්. හරිම අහිංසකයා. සමන් දුවට පණ වගේ ආදරයෙන් හිටියේ. දුව වයස අවුරුදු අටේ දී ඩෙංගු උණ හැදිලා මැරුණා. ඒ දුවගේ මරණය සමන්ට දරාගන්න බැරුව ගියා. ‘අනේ ප්‍රියානි මගේ දුව ගිය තැනක තනියෙන් ඇති. මම දුව හොයාගෙන, දුව ඉන්න තැනක් හොයාගෙන යනවා. ඔයා පුතාව රැක බලාගෙන ඉන්න’ කියලා නිතර අඬ අඬා කිව්වා. මෙහෙම ඉන්න අතරේ දවසක් සමන් බයිසිකලෙන් යද්දි කෝච්චිය හැපිලා මැරුණා.” ප්‍රියානි ඉකි බිඳිමින් විස්තර කළාය.
 
නැවතත් ඇගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගැන්වූ ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
 
“සමන් මැරුණේ මොනවා වෙලාද?”
“හැමෝගෙම හිතේ මම මැරුණෙ කෝච්චියෙ හැපිලයි කියලා. නැහැ. එහෙම නොවෙයි, දුවගේ තනියට මම යනවා කියලා හිතාගෙන මම කෝච්චියට බයිසිකලය දැම්මා. මම ඒක මගේ වුවමනාවෙන් ම කරගත් දෙයක්.” භූතයා කීවේය.
“ඉතින් දුව ළඟට ගියාද?”
“ඔව් මම මැරුණ ගමන් දුව ළඟට ගියා. මම දුව මුණ ගැහුණා.”
“ඊට පස්සෙ මොකද වුණේ?”
“ඊට පස්සෙ අපි දෙන්නා ආවා අම්මයි පුතයි හොඳට ඉන්නවාද කියලා බලන්න. ඒ ගමන් ගෙදර වත්තෙ නතර වුණා. ඔහේ පාවි පාවි හිටියා. මෙහෙම කාලයක් ඉන්න ‍කොට හිටි හැටියේ දුව අතුරුදහන් වෙලා ගියා” යි භූතාත්මය අඬන්නට විය.
 
ඔබේ දුව තනුජා මැරිලා නැවත ජාතියක කර්මානු රූපව උපදින්න සුදුසු තැනක් ලැබෙන තුරුයි ඒ හිටියේ. එයාට කර්මානුරූපව සුදුසු තැනක් ලැබුණු හැටියෙ එතැනට ඇදී ගියා. ඒක ලෝක ධර්මතාවක්. දැන් ඔබ එයාගේ තාත්තා නොවෙයි. එයාට දැන් අලුත් තාත්තා කෙනෙක් ඇති. එයා දැන් ඒ තාත්තාගේ දුව. ඔබේ දුව නොවෙයි.
 
මේ සංසාර ගමන බොහොම දිගයි. ඇයට මවුපියවරුන් ලක්ෂ ගණනක් හිටින්නට ඇති. දූ දරුවොත් එහෙමයි. ඔබ තනුජා දුව හිතින් උපාදාන කරගෙන අල්ලාගෙන හිටියත් එයා ලෝක ධර්මතාව අනුව ඔබ අතහැර යන්න ගියා. අන්න ඒ ටික නොදන්නාකම මිත්‍යාදෘෂ්ටිය. ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම. ඒ වැරදි වැටහීම නිසාම ඔබ යළිත් මේ ප්‍රියානිත් පුතාත් හොයාගෙන ඇවිත්. ඒක වැරදියි. ඔබ නිසා ප්‍රියානි ලෙඩ වෙනවා. ලෙඩ වෙලා ප්‍රියානි මැරුණොත් පුතාට අම්මාත් නැති වෙනවා. ඔබ ආදරණීය තාත්තා කෙනෙක් නම් පුතා අසරණ නොකර ඉවත් වෙලා සුදුසු තැනකට යන්න ඕනෑ.”
 
“ඔව් මහත්තයා, මට තේරුණා. ඉතින් මම මොනවද කරන්න ඕනෑ?”
 
“මම කැමතියි. මට උදව් කරන්න මහත්මයා.”
 
සුදුමල් වට්ටියකට සමන්ගේ ප්‍රාණකාරයා සම්බන්ධ කොට ඔවුන් අත ම කැලණියට යැව්වේය.
 
ලෝභකමේ අසීමිත ලෝභකම අභිධ්‍යාවයි. දරුවන්ට වුව ද අසීමිතව ආදරය කිරීම ද ඇලීම ද දැඩි ලෝභකමකි. ඒ උපාදානය ‍හේතුකොට ගෙන දුගතිගාමීව උපදී.
 
මතුගම මහින්ද විජේතිලක - සිළුමිණ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top