කොරෝනා වෛරසයෙන් විදේශිකයෙකු මුල් වරට මිය යයි
Saturday, 08 February 2020 - 13:11 | Views - 857
ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකු කොරෝනා වෛරසය ආසාදනය වී නියුමෝනියා තත්ත්වයට පත්වීමෙන් චීනයේදී මිය ගොස් ඇති බව වාර්තා වනවා. බීජිං නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඒ බව තහවුරු කළා.

කොරෝනා වෛරසයෙන් මෙතෙක් මිය ගිය සියළු දෙනාම චීන ජාතිකයන් වන අතර, ඉන් විදේශිකයෙකු මිය ගිය ප්‍රථම අවස්ථාව මෙය වනවා.

මේ අතර,චීනය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ලොව පුරා මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත උපකරණ වලට පවතින ඉල්ලූම සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහෙත් ගෝලීය සැපයුම ප්‍රමාණවත් නොවිම නිසා මුහුණු ආවරණ පමණක් නොව කබා, අත්වැසුම් ඇතුළු අනෙකුත් ආරක්ෂිත ඇගලූම් වල මිළ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ජිනිවා නුවර දී ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරස් අවදානම නිසා එම ආරක්ෂිත ඇගලූම්වල අවශ්‍යතාව සපුරාලීමට මාස 4ක් හෝ 6ක් ගත වනු ඇති.

මේ නිසා ඒවායේ මිල ගණන් මේ වන විට 20 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ.

මේ අතර, කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් මිය ගිය සංඛ්‍යාව 724 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් මරණ 722ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

ඊයේ දිනයේදී පමණක් වෛරසය කේන්ද්‍ර ගත වූ හුබෙයි ප්‍රාන්තයෙන් මරණ 86ක් වාර්තා වුණා.

චීනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 34,546ක් වන අතර, සුඛෝපභෝගී මගී නෞකා ඇතුළු ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 34,869ක්.

කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ දිනයේදී 2002 - 2003 වසරවල පැතිරුණු සාස් වෛරසයෙන් චීනයේ සහ හොංකොං හි මිය ගිය සංඛ්‍යාව අභිබවා ගියා.

සාස් වෛරසයෙන් එහි සිදුවූ මරණ සංඛ්‍යාව 650ක්. සාස් වෛරසයෙන් ලොව පුරා මරණ 770ක් වාර්තා වුණා.

කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ හුබෙයි ප්‍රාන්තයේ පුද්ගල සංචරණ තවදුරටත් සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, මේ නිසා වූහාන් ඇතුළු ප්‍රාන්තයේ මිලියන 56 ඉක්ම වූ ජනතාව චීනයේ අනෙකුත් ප්‍රදේශවලින් හුදෙකලා කර ඇති බව සඳහන්.

ප්‍රාන්තය තුළ ද ජනතාවට නිවෙස්වලින් නික්මීම සීමා කර ඇති අතර, එළිමහන් ක්‍රියාකාරකම් ද සීමා කර තිබෙනවා.

චීනයෙන් පිටත වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයේ යොකොහමා වරායට ඔබ්බෙන් නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්.

එහි ආසාදිතයන් 61 දෙනෙකු තහවුරු වූ අතර තවත් ආසාදිතයන් 3 දෙනෙකු අද වන විට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එහි මුළු ආසාදිත සංඛ්‍යාව 64ක්.

මේ අතර, කොරෝනා ආසාදිත බවට සැක පිට යාපනය රෝහලට ඇතුළත් කෙරුණු තරුණියට එම වෛරසය ආසාදනය වී නොමැති බව ජෛව සාම්පල පරීක්ෂාවේදී තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු 22 හැවිරිදි තරුණියට ද කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් අමරකෝන් ප්‍රකාශ කළේ.

ඔවුන් දෙදෙනාම පසුගිය දා චීනයේ සිට මෙරටට පැමිණි වෛද්‍ය ශිෂ්‍යාවන්. ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල්වලින් නික්ම ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකපිට අනුරාධපුර රෝහලේ සිට කොළඹ අයි.ඞී.එච්. රෝහල වෙත මාරු කර යැවුණු අනුරාධපුර - හිදෝගම පදිංචි 23 හැවිරිදි තරුණිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එසේම අලූත උපන් බිලිඳා සමග උණ රෝගයක් හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරුණු කාන්තාව ද IDH . රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබනවා.

ඇයගෙන් බිළිදා වෙන් කර තැබීමට පියවර ගත් බවයි අංගොඩ අයි.ඞී.එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක කියා සිටියේ.  

මේ අතර, ගත වූ සති දෙකක කාලය තුළ කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි බියෙන් පුද්ගලයන් 130 දෙනෙකු රෝහල් ගත වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා.

එහි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ ඉන් බහුතරයක් අනියත බියෙන් එලෙස රෝහල් ගත වී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top