"හැමෝගෙම ෆෝන්වල රෙකෝර්ඩින් දාගන්න.." - අධිකරණයට පැමිණි මන්ත්‍රී රන්ජන් මාධ්‍යයට කියපු දේ - Video
Friday, 07 February 2020 - 20:31 | Views - 566
මා එක්ක කතා කරපු සියලු දෙනා එළියේ...
හැන්සාඩ් එකේ සංවාද 7ක් තියනවා...
කැබිනට් ඇමතිවරුන්ගේ හඬපට එතන..
 
අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද යලිත් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
 
මේ අතර කටහඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් අද මන්ත්‍රීවරයාගෙන් කටහඬ සාම්පලයක්ද ලබා ගත්තා.

අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පසුගිය 29 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු පෙබරවාරි මස 07 වැනිදා කටහඬ පරීක්ෂණයකට භාජනය කරන ලෙස අධිකරණය නියෝග කළා.
 
අද පෙරවරු 10.30 ට පමණ මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂක දොපාර්තමේන්තුව වෙත රැගෙන ආවේ ඒ අනුවයි.
 
පැය එක හමාරක පමණ කිලයකින් පසු පිටතට රැගෙන ආ මන්ත්‍රීවරයා අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගියා.
 
ඒ මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් නීති විරෝධී ගිනිඅවිය, ජීව උණ්ඩ 127, දෘඩතැටි 9, ඩී.වී.ඩී. තැටි සහ ලැප්ටොප් පරිගණකය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහායි.
 
නඩුව සළකා බැලුණේ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මහතා ඉදිරියේයි.
 
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් කරුණු දැක්වූ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා සඳහන් කළේ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සිය භාරයට ගත් ගිනිඅවිය රස පරීක්ෂකවරයා වෙත මීට පෙර යොමුකළ බවයි.
 
එහි වාර්තාව විමර්ශන නිලධාරීන් වෙත ලැබී ඇති බවත්, එහි දැක්වෙන පරිදි අදාළ ගිනි අවියෙන් වෙඩිබෙහෙත් දුගඳ වහනය වන බැවින් එය සක්‍රීයව භාවිතයට ගෙන ඇති බව තහවුරු වන්නේයැයි අදාල වාර්තාවේ සඳහන්වන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.
 
ඔහු වැඩිදුරටත් පුවසුවේ එබැවින් අදාළ ගිනි අවිය භාවිත කර කිසියම් අපරාධයක් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවයි.
 
එමෙන්ම රස පරීක්ෂක වාර්තාවක් සඳහා එම දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ගිනිඅවිය ඉදිරි විමර්ශන සඳහා නැවතත් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 
එම ඉල්ලීම සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කළේ, අදාළ ගිනි අවිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලෙසයි.
 
ඊට අමතරව අදාළ නිතිවිරෝධී ගිනිඅවිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ද කොළඹ අපරාධ කොට්ඨාස මගින් අධිකරණයට ඉදිරිපත් කළා.
 
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබෙන රන්ජන් රාමනායකගේ දුරකතන අතරින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස භාවිත කරන නිල ජංගම දුරකතනය සහ සිම් කාඩ්පත පමණක් මුදාහරින ලෙසයි.
 
කෙසේ වෙතත් ඊට විරෝධය දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ, මන්ත්‍රීවරයා සියලු දුරකතන සංවාද පටිගත කර ඇත්තේ එම නිල ජංගම දුරකතනය හරහා බැවින් දුරකතනය මුදා හැරීම විමර්ශන සඳහා බධාවක් වන බවයි.
 
අනතුරුව නීතිඥවරයා යලිත් ඉල්ලා සිටියේ මන්ත්‍රීවරයාගේ සියලු සබඳතා තොරතුරු ඇත්තේ අදාළ සිම් කාඩ්පතේ බැවින් එම සිම් කාඩ්පත් අංකයම සහිත වෙනත් සිම්පතක් ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.
 
එම ඉල්ලීම පිළිබඳ නීතිපතිවරයාට දැනුම් දී ඔහුගේ උපදෙස් ලබා ගත යුතු බවත්, ඒ පිළිබඳ ඉදිරි නඩු වාරයේදී අධිකරණයට කරුණු වාර්තා කරන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.
 
ඒ අනුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මහතා නියෝග කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නීතිවිරෝධී ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන නඩුව එළැඹෙන 12 වැනිදා දක්වා කල් තැබීමටයි.
 
මන්ත්‍රීවරයා අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වන නඩුව ද එදින සළකා බැලීමට නියමිතයි.
 
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවට භාරදුන් හඬපට මුදාහැරීම සම්බන්ධයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවී තිබෙනවා.
 
එහිදී තීරණය වී ඇත්තේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණු ඇතුළත් හඬපට සහ අසභ්‍ය සාකච්ඡා සහිත හඬපට ඉවත්කර අනෙක් හඬපට පාර්ලිමේන්තුවට මුදාහැරීමටයි.
 
මේ අතර, රංජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථන සංවාදයේ නිරතවූ මහාධිකාරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට අදාළ අධිකරණ ක්‍රියාවලිය සිදුනොවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත නියෝග කර තිබෙනවා.
 
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ආන්දෝලනාත්මක හඩපට සිද්ධියට අදාළව වරෙන්තුවක් ලබාගෙන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර නීතිපති දප්පුල ද ලීවේරා මහතා පොලීසියට දැනුම් දී තිබුණා.
 
එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 - 1 සහ 12 – 2 වගන්ති උල්ලංඝනය වී ඇති බව ද නීතිපතිවරයා මෙම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
 
නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ලබන සඳුදාට පෙර මෙලෙස කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top