බිරිඳගෙන් පළිගන්න දියණියන් දෙදෙනාව අමානුෂිකව ඝාතනය කරන්න හැදූ පාපතර පියෙක්
Thursday, 06 February 2020 - 10:03 | Views - 402
තම දියණියන් දෙදෙනාට අහස පොළව නුහුලන අපරාධයක් සිදුකිරීමට ගිය පියෙකු පිළිබඳව මේ පුවත වාර්තා වූයේ පානදුර මහාධිකරණයේ පසුගියදා විභාග වූ නඩුවකදීයි.
 
ඉංගිරිය නම්ඹපාන ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය අඹු සැමියන් අතර නිතර නිතර ගැටුම් ඇතිවී පසුව එය පවුල් ආරවුලක් බවට පත් වුණා.

පසුව දෙදෙනා වෙන්ව තම ජීවන වෘත්තිය කරගෙන ගියා. 14 හැවිරිදි හා 11 හැවිරිදි දියණියන් දෙදෙනා අධ්‍යාපනය ලැබුවේ ඉංගිරියේ පාසැලකයි. දිනක් බීමත්ව බිරියගේ නිවසට පැමිණි සැමියා බිරිය සමඟ ආරවුලක් ඇති කරගත්තා. දෙදෙනා අතර ගැටිබැට හුවමාරුවක්ද සිදු වුණා.
 
අවසානයේ කෝපයට පත් සැමියා මාරාවේශයෙන් මෙන් නිවසින් පිටව ගියා. බිරිය තම දරුවන්ට කන්න බොන්නට යමක් පිළියෙල කර ගැනීම සඳහා බඩු මුට්ටු ගෙන ඒමට කඩ පිලට ගියා. මේ අවස්ථාවේදී ඇගේ සැමියා කෝපාවිශ්ඨ වී නිවසට පැමිණියේ දිග කඹයක්ද රැගෙනයි.
 
කාමරයේ බාල්කයට කඹය දමා පුටු දෙකක්ද දරුවන් තැබීමට තබා 'පෝරකයක්' ඉදිකරන සැටි ජනෙල් කවුළුවෙන් අසල්වැසියෙකු දුටුවේ දියණියන්ගේ විළාප හඬ ඇසීමත් සමඟයි. ආගන්තුකයා සිද්ධිය ජනෙල් කවුළුවෙන් බලා සිටියා.
 
මේ 'නරුම පියා' නිවසේ සිටි දියණියන් දෙදෙනා ඝාතනය කිරීමට සුදානම් වන බව ඔහුට හැඟී ගියා.
 
වහා ක්‍රියාත්මක වූ ඔහු ඉංගිරිය පොලිසියේ හදිසි ඇමතුම් අංශයට පණිවිඩයක් දෙමින් මේ බව දන්වා සිටියා. සැණෙකින් පොලිස් නිලධාරින් දෙදෙනකු පැමිණ වසා තිබූ නිවස ඇර නිවසට ඇතුළු වුණා.
 
දියණියන් දෙදෙනා එල්ල මැරීමට පියා විසින් එල්ලුම් ගසක් සුදානම් කරමින් සිටින බව පොලිස් නිලධාරින් එවේලේ දුටුවා.
 
දියණියන් දෙදෙනා ඉකි බිඳ හඬමින් එල්ලුම් ගස දෙස බලා සිටිනවා දුටු පොලිස් නිලධාරින් 'වධක' වෙස්ගත් පියා සැණෙකින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කරත්ම අත තිබූ කඹය බිම දමා ඔහු නිවසේ පස්සා දොරෙන් පලා ගියා. කොස්තාපල්වරු දෙදෙනා ඔහු ලුහුබැඳ ගිය ද පලක් නොවුණේ ඔහු ඒ වන විටත් කැලෑවට වැදි ආගිය අතක් නැතවීම නිසයි.
 
පසුව යළි එම නිවසට පැමිණි පොලිස් කොස්තාපල්වරු දෙදෙනා එල්ලුම ගස පෙනි පෙනී ඒ ඉදිරිපිට අඬමින් සිටි දරුවන් දෙදෙනාගෙන් කරුණු විමසුවා.
 
"තාත්තා අපිව එල්ලලා මරන්න එල්ලුම් ගහක් හදනවා. එයා අපි දෙන්නව බලෙන්ම මෙතැනට එක්කන් ආවා.."
 
මව සහ දැරියන් දදෙනා සමඟ පෝරක කඹයද ඉංගිරිය පොලිසියට ගෙන ගිය නිලධාරින් දරුවන් සමඟ කඹයද ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා.
 
එල්ලුම් ගසක් ඉදිකර මෙම දරුවන් දෙදෙනා එල්ලා මරා දැමීමට මේ දැරියන්ගේ පියා උත්සහ කර ඇති බව පොලිසිය පැවැත්වූ පරීක්ෂණයේදී අනාවරණය වුණා.
 
පියාට එරෙහිව මවද දියණියන් දෙදෙනාද පොලිසියට කටඋත්තර ලබා දුන්නා.
 
දියණියන් දෙදෙනා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට සනාථ කිරීමට පොලිසිය හමුවේ සාක්කි තිබෙන නිසා සැකකරු වහා අත්අඩංගුවට ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට නියෝග කළා.
 
මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරින් කණ්ඩායමක් සැකකරු සොයා පිටත්ව ගියා.
 
පැය දෙක තුනකට පසුව පොලිස් නිලධාරින්ට ලැබුණූ ආරංචියකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරින්ට හැකිවුණා. සැකකරුගේ ප්‍රකාශ සටහන් කරගත් පොලිස් නිලධාරින් ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගත කර වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබුවා.
 
දියණියන් දෙදෙනා එල්ලා මරා දැමීමට තැත් කළේ බිරියගෙන් පළිගැනීමට යැයි සැකකරු පොලීසියට සඳහන් කළා. මෙම නරුම පියා දියණියන් දෙදෙනා එල්ලා මරා දැමීමට තැත්කිරීමට සම්බන්ධයෙන් පැවැත්වූ පොලිස් පරීක්ෂණ වාර්තාව නීතිපති වෙත ඉංගිරිය පොලිසිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
 
නීතිපතිවරයා මෙම නරුම පියාට විරුද්ධව අධිචෝදනාවක් ඉදිරිපත් කරමින් පානදුර පළාත්බද මහාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කළා. අපරාධ නීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය යටතේ මෙම අධිචෝදනාව විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළේ රජයේ නීතිඥ ළහිරු ජයමාන්න මහතා විසිනුයි. නීතිපතිවරයා වෙනුවෙන් ළහිරු ජයමාන්න මහතා මෙම අධිචෝදනාව ගොනු කළා.
 
මෙම නඩුව පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ විත්ති කූඩුව මත සිටියා.
 
මෙම නඩුවේ විත්තිකරු වූයේ ඉංගිරියේ පදිංචි නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරිකයෙකු බවට පොලීසිය හඳුනාගෙන සිටි අයෙක්.
 
මෙම විත්තිකරු සිය නිවසේ කාමරයක ඔහුගේ දරුවන් එල්ලා මැරීමට පෝරකයක් සාදමින් සිටි බවත්, පුටු දෙක දරුවන් නැග්ගවීමට තබා බාල්කයට කඹයක් දමා එහි කෙළවර දියණියන්ගේ ගෙලට දැමීමට සුදානම් වෙද්දි දරුවන් හඬන අයුරු අසල්වැසියෙක් ජනේලයකින් දැක ඇති බව ද මහාධිකරණයේදී හෙළි වුණා.
 
ඔහු ඒ බව ඉංගිරිය පොලීසියට දැන්වීමෙන් පසුව පොලිස් නිලධාරින් දෙදෙනෙකු එහි පැමිණ මෙම දරුවන් දෙදෙනා එල්ලුම් ගහෙන් බේරාගත් බව පැමිණිල්ලේ සඳහන් බව රජයේ නීතිඥවරයා අනාවරණය කළා.
 
විත්තිකරුගේ නීතිඥයා කියා සිටියේ විත්තිකරු ඔහුගේ දියණියන් දෙදෙනා මරා දැමීමට තැත්කිරීම ගැන වරද පිළිගන්නා බවත්, වන්දි වශයෙන් රුපියල් 50000 බැගින් දියණියන් දෙදෙනාට ගෙවීමට කැමති බවයි.
 
විත්තිකරුගේ බිරිය අධිකරණයට කැඳවූ විනිසුරුවරයා ඇගෙන් අදාළ සිද්ධිය ගැන කරුණු විමසා දරු දෙදෙනාගේ බැංකු පොත් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ඇයට දන්වා විත්තිකරුට දඬුවම් නියම කිරීම එදිනට කල් තබා විත්තිකරු ඇප මත මුදා හැරියා.
 
සිය බිරියට ගිනි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද තවත් නඩුවක් මෙම විත්තිකරුට එරෙහිව අවිස්සාවේල්ල මහාධිකරණයේ ද පවරා ඇති බව පොලිසිය සඳහන් කළා.
 
කපිල සෝමරත්න
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top