චීනයේ නගර කිහිපයකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් වාර අඩු කෙරේ
Wednesday, 05 February 2020 - 16:23 | Views - 336
ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත සිදු කෙරෙන ගුවන් ගමන්වල සංශෝධනයක් සිදුකර තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු විදෙස්ගතවන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙසට අඩුවීම මෙන්ම වර්තමාන මගී ඉල්ලුම මත මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ.
ඒ අනුව හෙට 6 සිට මාර්තු මස 28 වනදා දක්වා චීනයේ නගර කිහිපයකට සිදු කෙරෙන ගුවන් ගමන් වාර අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මේවන විට චීනයේ බීජිං, ෂැංහයි සහ කැන්ටන් යන නගර 3කට ගමන් වාර සිදු කෙරෙනවා.
එය බීජිං වෙත සතිපතා ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත් ෂැංහයි වෙත ගමන් වාර 4 සිට 2දක්වාත් සහ කැන්ටන් වෙත ගමන් වාර 7 සිට 3 දක්වාත් අඩු කෙරෙනු ඇති.
කොළඹ – අබුඩාබි වෙත පුලුල් බඳ සහිත ගුවන් යානා ඉහළ නැංවීම සහ ගුවන් යානා කිහිපයක නියමිත නඩත්තු කටයුතු ඉදිරියට ගෙන යාම ඇතුලුව අනෙක් කලාපවල ධාරිතාව ඉහළ නැංවීම සඳහා මෙලෙස චීනයේ මෙහෙයුම්වලින් ඉවත් කෙරෙන ගුවන් යානා යෙදවීමට සැලසුම් කර තිබෙනවා.
Share This Article