චීනයේ කොරෝනා මර්දන සටනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිර්භීත පාකිස්තාන වෛද්‍යවරයා
Tuesday, 04 February 2020 - 10:02 | Views - 599
වූහාන් නගරය කේන්ද්‍ර කරගෙන පැතිරෙන කොරෝනා වයිරසය ආසාදිත වූවන් බවට සැක කෙරෙන සංඛ්‍යාව තවදුරටත් වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ඊයේ (පෙබරවාරි 3දා) ප්‍රකාශයට පත් කළ ඒ පිළිබඳ දත්ත වාර්තාවට අනුව දැනට චීනය පුරා වෙසෙන කොරෝනා වයිරසය ආසාදිත වූවන් සංඛ්‍යාව 17,200කි. එයින් 2,829 දෙනකු නව ආසාදිතයන්ය. මියගිය පිරිස 361ක් වන අතර එය 2002-03 කාලයේදී ‘සාර්ස්’ වයිරස් වසංගතය නිසා චීනයේ ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව වන 349 ඉක්මවයි.

මේ වනවිට සිය රට තුළ කොරෝනා වයිරසයට එරෙහිව ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කිරීමට චීන රජය පියවර ගෙන තිබේ. එම ව්‍යාපෘති යටතේ චීන වෛද්‍යවරු දහස් ගණනක් කොරෝනා වයිරසය සමඟ දිවා රෑ පොරබදමින් සිටිති.

මෙම වෛද්‍ය පර්ෂදයට එක්වූ පාකිස්තාන ජාතික තරුණ වෛද්‍යවරයකු කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමුවී ඇත. සිය රට තුළ මෙවැනි මාරාන්තික වසංගතයක් පැතිරෙන විට රටින් පලායෑමට හෝ අවම වශයෙන් විශේෂ අවදානම් දීමනා ලබාගැනීමට හෝ උත්සාහ කරන සෞඛ්‍ය සේවකයන් සිටින ලෝකයක පාකිස්තාන ජාතික මෙම වෛද්‍යවරයාගේ සත්ක්‍රියාවට කාගේත් පැසසුම හිමි විය යුතුය.

මොහම්මද් උස්මාන් ජන්ජුවා නමැති 29 හැවිරිදි මෙම වෛද්‍යවරයා වාසය කරන්නේ පාකිස්තානයේ ජේලුම් ප්‍රදේශයේය. ළමා කාලයේ සිටම වෛද්‍යවරයකු වීමට සිහින මැවූ ඔහුට එය යථාර්ථයක් බවට පත් කරගත හැකි වූයේ චීනයේ හනන් විශ්වවිද්‍යාලයෙනි. 2012 වසරේදී වෛද්‍ය උපාධිය ලබාගැනීමෙන් පසු සායනික පුහුණුව සඳහා පාකිස්තානයේ දීනා නගරයට පැමිණි උස්මාන්, සිවු වසරකට පසු නැවතත් චීනය වෙතට යන්නේ චංග්ෂා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පශ්චාත් උපාධිය හදාරන්නටය.

පශ්චාත් උපාධි කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු චංග්ෂා විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයකු වශයෙන් රැකියාවේ නියුතුව සිටින අතර එරට ජාතික කොරෝනා මර්දන වෛද්‍ය පර්ෂදය හා එක්වී ස්වේච්ඡාවෙන් සේවය කිරීමට කැමති බව ඔහු ජනවාරි 27 දින දැනුම් දී තිබේ. ඒ අනුව පසුගිය පළමුවැනිදා සිට කොරෝනා වයිරසය පරාජය කරන්නට පෙරමුණ ගෙන සිටින චීන වෛද්‍යවරුන් සමඟ උරෙ’නුර ගැටෙමින් නොපිරිහෙළා සේවය කිරීම ඔහු ආරම්භ කළේය. විදේශිකයකු වීත් මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය විමසා සිටි අවස්ථාවේ තරුණ වෛද්‍යවරයා මෙසේ පවසා ඇත. “මට වෛද්‍යවරයකු වීමට අවශ්‍ය අධ්‍යාපනය මෙන්ම රැකියාව ද ලබාදුන්නේ චීනයයි. මගේ ජීවිතයේ ඉදිරියට යෑමට අවස්ථාවක් ලබාදුන් චීනය මගේ දෙවැනි මවුබිම ලෙසටයි මා සලකන්නේ. මේ වගේ බැරෑරුම් අවස්ථාවක මගේ යුතුකම පැහැරහරින්නට මට බැහැ. ඉතින් මේ තීරණය ගැනීම සඳහා දෙවරක් හිතන්නට මට අවශ්‍ය වුණේ නැහැ.”

පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් තරුණ වෛද්‍යවරයාගේ ක්‍රියාව මෙසේ ප්‍රශංසාවට භාජන කර තිබිණි. “විදේශීය වෛද්‍යවරයකු මෙන්ම වෛද්‍යාචාර්යවරයකු ද වන මොහම්මද් උස්මාන් ජන්ජුවා මහතා චීනය තුළ කොරෝනා වයිරසය සමඟ සටන් කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම අපි බෙහෙවින් අගය කරමු.” පාකිස්තාන ජනතා පක්ෂ සාමාජිකා සෙනෙට් සභික ෂෙරී රෙහ්මාන් ද තරුණ වෛද්‍යවරයාගේ නිර්භීත භාවය අගය කරමින් ඔහු වීරයකු වශයෙන් හඳුන්වාදෙනු ලැබ තිබේ.

වසංගත රෝග ව්‍යාප්ත වන කාල සීමාවල දී හිපොක්‍රටික් ප්‍රතිඥාව අමතකව යන වෛද්‍යවරුන්ට මොහම්මද් උස්මාන් නමැති තරුණ වෛද්‍යවරයාගෙන් ඉගෙන ගැනීමට ඇත්තේ විශාල පාඩමකි. පාකිස්තාන ජනමාධ්‍යන් විසින් ද වෛද්‍ය ඔස්මාන් වීරයකු ලෙසට ඔසවා තබනු ලැබ ඇත. ඔහුගේ වීර ක්‍රියාව පිළිබඳව ඉදිරියේදී ලෝකයම කතා කරනු නිසැකය.

මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top