කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ගණන 362 දක්වා ඉහළට
Monday, 03 February 2020 - 21:35 | Views - 392

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය පිරිස මේ වනවිට 362 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මේ අතර වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් චීනයේ වෙන්සු නගරය වසා දැමීමට එරට බලධාරීන් අද පියවර ගත්තා.මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් මේ වනවිට ලොව රටවල් 27කින් හමුවී තිබෙනවා.එම රටවලින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 17,385ක් වන අතර ඉන් 17,205ක්ම හමුව ඇත්තේ චීනයෙන්.චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ දෛනික වාර්තාවලට අනුව පුද්ගලයන් 475ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 21,558 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙනවා.2003 වසරේදී චීනයෙන් හමුවූ සාර්ස් රෝග ව්‍යාප්තිය හා සසඳන විට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට එය ඉක්මවා යාමක් දක්නට ලැබෙනවා. එම කාලය තුළ චීනයෙන් සාර්ස් වෛරසය ආසාදනය වූ රෝගීන් 5327ක් වාර්තා වූ අතර පුද්ගලයන් 349ක් ජීවිතක්ෂයට පත්වුණා.මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා 4000ක් පමණ වූ සේවකයින් වුහාන් හී දින 8කින් ඉදිකළ රෝහල අද ප්‍රතිකාර සඳහා විවෘත කෙරුණා.වර්ග මීටර් 25,000ක වපසරියක පිහිටා ඇති නව රෝහල ඇඳන් 1000කින් සමන්විත වන අතර, එහි සේවය සපයනු ලබන්නේ චීන මහජන විමුක්ති හමුදාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයයි. මේ හා සමාන ඇඳන් 1600කින් සමන්විත තවත් රෝහලක් වූහාන් හි ඉදිකෙරෙන අතර චීන මාධ්‍ය වාර්තා කළේ එළැඹෙන බදාදා එය ප්‍රතිකාර සඳහා විවෘත කිරීමට නියමිත බවයි.වෛරසයේ තිඹිරිගෙය වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් ප්‍රදේශය වසා දමා අදට දින 12ක් ගත වනවා.වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් වූහාන් සිට කිලෝමීටර් 800ක් දුරින් පිහිටි වෙන්සු නගරය ද වසා දැමීමට චීන බලධාරීන් අද පියවර ගත්තා.කෙසේ වෙතත්, ප්‍රදේශයේ ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා චීන මහජන විමුක්ති හමුදාවේ සාමාජිකයක් 260 දෙනෙකු සහ ඖෂධ සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා හමුදා ට්රක්රථ 130ක් යොදවා ඇති බව ‘‘චයිනා ඩේලි“ වෙබ් අඩවිය වාර්තා කළා.වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති චීනය ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ආකාරයයි මේ.අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැරව යන්න එපා. ඔබ නිවසින් පිටතට යන්නේ නම් මුව ආවරණයක් පළඳින්න.ඔබගේ සමීපතමයෙක් මෑතකදී හුබෙයි පළාතේ සංචාරය කර තිබේ නම් කරුණාකර ඒ බව දැනුම් දෙන්න.කොරෝනා වෛරසය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ මළ අපද්‍රව්‍ය හරහා ද සම්ප්‍රේෂණය විය හැකි බව චීනයේ විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා.ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අනුව, කොරෝනා වෛරසයේ පොදු රෝග ලක්ෂණය වන උණ වෙනුවට ඇතැම් ආසාදිතයන්ට පාචනය වැනි රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ හැකි බවයි. මේ අතර, නව අවුරුදු නිවාඩුව සඳහා පසුගිය ජනවාරි 24 වැනිදා වසා දැමුණු ෂැංහයි කොටස් වෙළෙඳපොළ අද යළි විවෘත කෙරුණු අවස්ථාවේදී ෂැංහයි සංයුක්ත දර්ශකය 8.7%කින් පහත වැටීමක් දක්නට ලැබුණා.ෂිංහුවා පුවත් සේවය වාර්තා කරන්නේ චීන ආර්ථිකයේ පසුබෑමට මුහුණදීම සඳහා එරට මහජන බැංකුව යුවාන් බිලියන 150ක අමතර මුදලක් ආර්ථිකයට මුදා හැරීමට කටයුතු කළ බවයි.මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ රෝගියෙකුට HIV රෝගීන්ට සහ උණ රෝගීන්ට ලබාදෙන ඖෂධවල සංයෝගයකින් ප්‍රතිකාර කර සුව වීමේ සිද්ධියක් තායිලන්තයෙන් වාර්තා වනවා.පැය 48ක පමණ කාලයකින් අදාළ රෝගියාට පූර්ණ සුවය ලැබී ඇති අතර, තායිලන්ත වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඉදිරි පියවරක් ලෙස මෙය සැලකිය හැකි බවයි.මේ අතර, නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කරමින් හොංකොං හි වෛද්‍ය කාර්ය මණ්ඩල සේවකයන් 1000ක් පමණ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ චීනය සමඟ ඇති දේශසීමා දොරටු මුළුමණින්ම වසා දමන ලෙසටයි.රුසියාව ඇතුළු රටවල් කිහිපයක් මේ වනවිටත් චීනය සමඟ දේශසීමා දොරටු වසා දැමීමට පියවර ගෙන ඇති අතර, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව චීන ජාතිකයන් සහ මෑතකදී චීනයේ සංචාරය කළ පුද්ගලයන්ට වීසා ලබා නොදීමට තීරණය කර තිබෙනවා.කෙසේ වෙතත්, චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසන්නේ ඇමරිකාව, අනවශ්‍ය ලෙස ප්‍රතිචාර දක්වන බවයි.නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට චීනය කරන උත්සාහය ලොව බොහෝ රටවල පැසසුමට ලක්ව තිබියදී ඇමරිකාවේ ක්‍රියා කලාපය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට පටහැනි බව චීන සෞඛ්‍ය සංවිධානය පවසනවා.මේ අතර, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හිරු ප්රවෘත්ති වෙත සඳහන් කළේ කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය සම්බන්ධව විදෙස් රටවල් අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි.චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් කොළඹ ගෙන්වා ගැනීමේදී චීනය පැත්තෙන් අපි ශ්‍රී ලංකා රජය සමඟ පූර්ණ සහයෝගයකින් කටයුතු කළා.පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා රජය එහිදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධව මගේ ප්‍රසාදය පළ කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.චීනය මේ වෛරසය ව්‍යාප්තිය පාලනයට උපරිම ලෙස ක්‍රියා කරනවා.ඒ නිසා කිසිඳු රටක් චීනයේ සංචාරය නොකරන ලෙසට හෝ චීනය සමඟ වෙළඳ ගනුදෙනු සිදු නොකරන බවට සීමා පනවමින් අනියක බියක් ඇතිකර ගත යුතු නැහැ.ඔබ දන්නවා කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් චීනයෙන් පිටත වාර්තා වූයේ එක් මරණයක් පමණයි.ඒ තුළින් ඔබට වැටහෙනවා ඇති චීන රජය සහ ජනතාව මේ වෛරසය වෙනත් රටවල ව්‍යාප්තිය අවම කිරීම සඳහා කොතරම් උත්සාහයක් ගන්නවාද කියන කාරණය.
Share This Article