9 හැවිරිදි දැරියගේ අත්පා ගැට ගසා රැකියාවට යන පියා
Monday, 03 February 2020 - 10:37 | Views - 1,685

මවුකිරි දීමෙන් ලෝකයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට ලැබූ පුවත වාර්තා වී මේ වන විට ගතවූයේ සති දෙකක් වැනි කාලයකි. කෙසේ නමුත් ගාල්ල, ඉමදුව ප්‍රදේශයෙන් පසුගිය 31 දින වාර්තා වන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතා පුවතකි.
තම නව හැවිරිදි දැරියකට කෘෘර ලෙස වධහිංසා කරමින් පහරදී පුලුස්සා මාර්ගයේ දමා ගිය දැරියගේ පියා සහ කුඩම්මා පිළිබඳව කතා පුවතකි.
අදාළ පියා සහ කුඩම්මා 31 වැනි දින ඉමදුව කෝදාගොඩ ප්‍රදේශයේදී ඉමදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු දැරියගේ පියා සහ ඔහුගේ දෙවැනි විවාහයේ බිරිය වන අදාළ දැරියගේ කුඩම්මා ලබන 13දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කර ඇත.
ඔවුන්ට ඇති චෝදනා වන්නේ තම 09 හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල කර මිනි මැරීමට තැත් කිරීම සම්බන්ධයෙනි.
සිද්ධිය සැකවින් මෙසේය,
මෙම දැරියගේ පියා රියැදුරකු ලෙස රැකියාව කරන අතර ඔහු රැකියාවට යනවිටදී දැරිය නිවෙසේ ගැටගසා කටට ප්ලාස්ටරක් දමා යන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. දැරිය තමන්ගේ දත් රිදෙන බව කීවිට අඬුවකින් දැරියගේ දත් දෙකක් ගලවා ඇති බවද පොලිසිය පවසයි. මීට දින කිහිපයකට පෙර පියාගේ පා පහරකින් දැරියගේ යටි බඩ ප්‍රදේශයේ ඉදිමුමක් පැමිණ තිබෙනු දුටු පියා දැරියගේ සිරුරට සහ රහස් ප්‍රදේශ ආශ්‍රිතව උණවතුර දමා ඇති අතර කුඩම්මා ඇයට වේවැලකින් පහරදී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කෙසේ නමුත් මෙම දැරියට මෙසේ අමානුෂිකව සලකන විටදී පියාගේ දෙවැනි විවාහයේ දැරිය සාමාන්‍ය දැරියක් මෙන් මේ වන විට ළදරු පාසල් අධ්‍යාපනය ලබමින් සිටින බවද පොලිසිය පවසයි.
මෙම දැරියගේ පියා සහ සුළු මව මීට මාස කිහිපයකට පෙර අන්දුගොඩ ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන එහි ජීවත් වී ඇති අතර මෙසේ දැරිය නිවෙසේ බැඳ දමා යන බවට සහ දැරියට පහර දෙන බව දුටු අදාළ නිවෙස් හිමියන් ඔවුන් නිවෙසින් ඉවත් කිරීමට කටයුතු කර ඇත. පසුව වැලිගම ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන මොවුන් ජීවත් වන අතරතුර දැරියගේ මවට මේ සම්බන්ධයෙන් ආරංචි වී ඇත.
දැරිය වධහිංසාවලට ලක්වන බව දැනගෙන ඇති ඇයගේ මව ඇය රැගෙන යෑමට පැමිණ තිබේ. පසුව දැරියගේ පියා දැරිය කෝදාගොඩ 22 කණුව ප්‍රදේශයේ දමාගොස් සිටියදී පොලිසිය දැරිය රෝහල්ගත කොට ඇත.
අදාළ දැරියගේ මව සහ පියා මීට වසර 10කට පමණ පෙර විවාහ වී ඇති අතර මව මීට වසර 05කට පමණ ඉහතදී මෙම දැරියත් සමඟ දැරියගේ පියා අත්හැර වෙනත් පුරුෂයකු සමඟ ගොස් තිබේ. පසුව එම පුරුෂයාගෙන්ද ඇයට දරුවකු ලැබී ඇත. පසුව ඇය පළමු විවාහයේ දරුවා හා දෙවැනි විවාහයේ දරුවා යන දෙදෙනා හා දෙවැනි විවාහයේ පුරුෂයාද දමා තවත් පුරුෂයකු සමඟ ගොස් ඇත්තේ විවාහ දෙකේම දරුවන් දෙදෙනාම දෙවැනි විවාහක පුරුෂයා අත තබමින් බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පසුව මෙම දැරියගේ මවගේ දෙවැනි විවාහයේ පුරුෂයා තමාගේ නොවන දරුවා රැකබලා ගැනීමට නොහැකි බවට පැමිණිල්ලක් කර ඇති අතර පසුව උෟරුබොක්ක පොලිසිය මඟින් මෙකී දැරියගේ පියා වන සැකකරු ගෙන්වා මීට මාස කිහිපයකට පෙර දී දැරිය ඔහුට භාරදී ඇත. සැකකාර පියා ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කෙසේ වෙතත් දැරිය ඔහුට භාර දෙන විට ඔහු වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී සිට අතර ඇයට දාව දරුවකු සිටින බවද පොලිසිය පවසයි.
දැරිය පියා ළඟ සිටි කාලය තුළ දැඩි කෘෘර වධහිංසාවලට ලක්කොට ඇති බව පොලිසිය පවසයි. සැකකාර පියා 29 හැවිරිදි වියේ පසුවන අයෙකි. කුඩම්මා සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
Share This Article