ඕමානයේ ගෑනු විකුණන ලිංගික ජාවාරම කොටු කරගත් හැටි මෙන්න
Sunday, 02 February 2020 - 16:04 | Views - 638

මුදල් මත හැමදේම කළ හැකි යැයි බොහෝ දෙනා සිතති. මේ නිසාම මුදල් හම්බ කිරීම වෙනුවෙන් ඕනෑම බලු වැඩක් කිරීමටද සමහර අය පෙලැඹී සිටිති. එහිදී අම්මා තාත්තා අක්කා නංගි, මල්ලි, අයියා හෝ නෑදෑයෙක් මෙන්ම යහළුවෙක්ද කියා බලන්නේ  නැත. මුදල් වෙනුවෙන් මනුෂ්‍යත්වය  බල්ලට දමා සමහර දෙනා හැසිරෙති. එහිදී ඒ අයගේ අරමුණ  මුදල් පමණකි.

අප කියන්න යන්නේද එවැනි කතාවකි. එය මිනිස් ජාවාරමකි. මේ මිනිස් ජාවාරම  ක්‍රියාත්මක වන්නේ විදේශ රැකියා ඒජන්සි  හරහාය. මෙයට සෑම ඒජන්සියක්ම සම්බන්ධ නැතත් අද වන විට මේ රටේ බොහෝ විදේශ රැකියා සොයා දෙන ඒජන්සි කරන්නේ මිනිස් ජාවාරමකි.

 මේ අය නිතරම විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු  වෙති. රැකියාව සොයන කෙනාට ඒ සඳහා කිසිදු  ගෙවීමක් කළ යුතු නැත. රට යන කෙනා කළ යුත්තේ පාස්පෝට් එක සඳහා ඡායාරූප ලබාදීම සහ අයැදුම්පත අස්සන් කිරීම පමණි. අනෙක් සියලු වියදම් දරන්නේ රැකියා ලබාදෙන ඒජන්සිය මඟිනි. මේ ආකාරයට රට යවන සමහර ඒජන්සි රට යවන කෙනාගේ අතට නොසෑහෙන මුදලක්ද ලබාදෙයි. එසේම තැරැව්කරුවන්ටද ගෙවන මුදල සුළුපටු නැත.

තැරැව්කාරයන් නිතරම ගැවැසෙන තැන් තිබේ. ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුවයි. විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඒමේදී තැරැව්කාරයන් සිය උපක්‍රම යොදා විදේශගත වීමට එන කාන්තාවෝ රවටා ගනිති. එසේත් නැත්නම් රැකියා ඒජන්සිකරුවන් හරහා එන කාන්තාවන් රවටා ගනී.

 බොහෝ වේලාවට විදේශගතවීමට එන කාන්තාවන් සමඟ කුලුපග වීමට තැරැව්කරුවන් යොදා ගන්නේ කාන්තාවක්මය. ඇය හරහා විදේශ ගතවීමට එන කාන්තාව රවටා ගනී. වයස 20 - 40 අතර රූමත් කාන්තාවන් වෙත වැඩි අවධානයක් යොමු කරන තැරැව්කාරයන් කියන්නේ කිසිදු අපහසුතාවකින් තොරව විදේශගත වීමේ මාර්ගය තමන් සතු බවය. විදේශගත වීමේදී ගමන් බලපත්‍රය සඳහාවත් වියදමක් වෙන්නේ නැත. රට යන කෙනාගේ අතට රුපියල් පනස්දාහේ සිට ලක්ෂය දක්වා මුදල් ලබා දෙයි. සමහර අයට ශතයක්වත් දෙන්නේ නැත. තම අතින් ශත පහක්වත් වියදම් නොවී රට යන්න කැමැති වෙන කාන්තාවන් මේ ජාවාරමට අසුවෙන්නේ එතැන් සිටය. 

ඉගෙනගත් කාන්තාවන්ට කාර්යාලවල රැකියාද, වැඩිදුර ඉගෙන නොගත් අය ගෘහ සේවිකාවන් විදියටද මැදපෙරදිග රැකියාවන් සොයා දෙන තැරැව්කාරයන් මේ අයව යවන්නේ සංචාරක වීසාවලිනි. අවසන් මොහොත දක්වාම රට යන අය තමන් යන්නේ කුමන අරමුණකින්දැයි දන්නේ නැත. ඒ දක්වාම තැරැව්කාරයන් රට යන කාන්තාවන් තම ග්‍රහණයට හසුකොට අවසන්ය. 

මේ ආකාරයට මිනිස් ජාවාරම් කරන විදේශ ආයතනයක් ගැන පසුගියදා අපට දැනගන්නට ලැබිණි. ඒ මහියංගණය නගරයේ බස් නැවතුම්පොළ අසල පිහිටි විදේශ රැකියා ආයතනයකි. මේ ආයතනය මඟින් සංචාරක වීසා මඟින් කාන්තාවන් රට යවන තැනකි. මෙම ආයතනය  සංචාරක වීසා මඟින් දෙදෙනකු දිනපතාම ඕමානය වෙත යවන බවට තොරතුරු තිබේ. මේ වැඩේදී ඔවුන්ගේ තැරැව්කරුවෙක් ගැන තොරතුරු  අපට ලැබිණි.

“කුසුමාවති නොහොත් සඳමාලි නමින් පෙනී සිටින අයයි. ඇය ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. සඳමාලිගේ කාර්යය වන්නේ ගුවන්තොටුපොළ වෙත විදේශගතවන කාන්තාවන් රැගෙන ගොස් තවත් තැරැව්කරුවෙක් වෙත බාරදීමය. හදිසියේ හෝ කාන්තාවන් රැගෙන යෑමට නියම තැරැව්කරුට ඒමට අපහසු වුවහොත් තවත් තැරැව්කරුවකු සොයා කාන්තාවන් බාරදීම සිදුවෙයි. ඒ කාර්යය නිම කළ පසු සඳමාලිගේ කාර්යය අහවර වෙයි. ඒ වෙනුවෙන් රට යවන එක් කාන්තාවක් වෙනුවෙන් සඳමාලිට ඕමානයෙන් රුපියල් 944,355.00ක් ගෙවා ඇත. ඒ ඇගේ  268200440017*** දරන මහජන බැංකුවේ  ගිණුමටය. ඊළඟට මේ වැඩේට සහාය  ගන්නේ යෝගා නමැති අයෙකි. ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද කියැවෙයි.

සංචාරක වීසා මඟින් ඕමානය වෙත යවනවා යැයි කීවත් එය බොරුවකි. ඕමානයේ රැකියාවට යවන කාන්තාවන්ට සංචාරක වීසා දෙකක් ලැබේ. ඉන් එකක් ඉන්දියාවේ සංචාරක වීසා එකකි. අනෙක ඕමානයේ සංචාරක වීසා එකකි. ඕමානයේ රැකියාවට යන අය ගුවන්තොටුපොළ වෙත ඇතුළු විය යුත්තේ ඉන්දීය සංචාරක වීසා එකෙනි. ඒ වෙනුවෙන් තවත් පිරිසක් සිටිති. ඔවුන් ඕමානයේ යන අය සමඟ ඉන්දියාවේ යන අයයි. මේ අය සමඟ ඉන්දියන් වීසා ඇති ඕමානයේ යන අයද ගුවන්තොටුපොළ තුළට යවති. ඕමානයේ යන අයගෙන් ගුවන්තොටුපොළ නිලධාරීන් කොහෙද යන්නේ යැයි අසා සිටියොත් ඉන්දියාවේ සංචාරයක යන බවට කියන ලෙස දන්වයි. කෙසේ හෝ ගුවන්තොටුපොළ තුළට යන ඕමානයේ යන අය  ඊළඟට ගන්නේ ඕමානයේ යන සංචාරක වීසා එකය. ඒ අයට ඉන්පසු යෝගාගේ උපදෙස් ලැබෙන්නේ එළියේ සිට දුරකථනයෙනි. යෝගාගේ උපදෙස් මත  පසු  මේ අයව පරීක්ෂා කෙරෙන කවුන්ටර වෙත යවයි. එම කවුන්ටරවල ඉන්නා නිලධාරීන් තම හිතවතුන් කියා බොහෝ විට මේ අයව යවන්නේ 31, 32, 33, කවුන්ටර  වෙතය. ඉන් පසු මේ කාන්තාවන්ගේ ඡායාරූප ජංගම දුරකථනයකින් බලමින් නිරීක්ෂණය කරන ඉහළ පෙළේ නිලධාරියකු සිටී. ඔහු පොයින්ට් එක වවා ඇති, කළු මහත කණ්ණාඩි පලඳින අයෙක් බවද කියැවෙයි. එම නිලධාරියා හරහා කිසිදු බාධාවකින් තොරව ගුවන් තොටුපොළේ සිට ගුවන්යානය දක්වා සංචාරක වීසා මඟින් රට යන කාන්තාවන් ගෙන යයි.

මේ අය කෙළින්ම ඕමානය වෙත රැගෙන යන්නේද නැත. ඩුබායි ගුවන්තොටුපොළ වෙත ගොස් වෙනත් යානයකින් ඕමානය වෙත යවයි. මේ සියලු දේ පියවරෙන් පියවර කරන්නේ කාටවත් සැක නොසිතෙන ලෙසිනි. ඕමානයට ගිය පසු මේ අයව ගන්න එන්නේ මේ ජාවාරමේ මහ මොළකරුය. ඇය නමින් නිලන්තිකා වීරසූරියයි. රුච් මස්කට්වල පදිංචි  ඇය මිනිස් ජාවාරම කරන ඕමාන් ඒජන්සිය පිහිටා ඇත්තේ මාසෙන්  අබුඅලීය. නිමන්තිකා විවාහ වී සිටින්නේ ඕමාන ජාතිකයකු සමඟය. ඇය ලංකාවේ ප්‍රධාන පෙළේ  විදේශ රැකියා ඒජන්සි සමඟ සබඳතා පවත්වමින් මිනිස් ජාවාරමේ යෙදෙන බවට මේ වනවිට සොයාගෙන ඇත. ඇය සමඟ සඳමාලිලා, යෝගලා වැනි තවත් අය සිටින බවටද මේ වනවිට සොයාගෙන තිබේ.

නිමන්තිකා ළඟට යන ලංකාවේ කාන්තාවන්ට පොරොන්දු  වූ රැකියා ලැබෙන්නේ නැත. එහෙ ගියවිට රැකියාව තීරණය කරන්නේ නිමන්තිකාය. ඇය ඕමානයේ සිටින පොහොසත් මුස්ලිම්  අයට මේ කාන්තාවන් විකුණයි. ඒ ලිංගික සේවය සඳහා. මාස තුන, හය වැනි කාලයකට මේ ආකාරයකට විකිණෙන කාන්තාවන් තමන් අමාරුවේ වැටුණු බව ඕමාන් යන තෙක් දන්නේ නැත. මේ ආකාරයට විකුණන කාන්තාවන්ට ඒ නිවෙස්වල සියලුම වැඩ කිරීමට සිදු වෙයි. මීට අමතරව එම නිවෙස්වල සිටින පිරිමින්ගේ මෙන්ම ඔවුන්ගේ හිතවතුන්ගේද ලිංගික අවශ්‍යතා සපුරාලීමට සිදු වෙයි. තවත් විටෙක ගුටි කෑමටද සිදුවන අවස්ථා තිබේ. ඊට විරුද්ධ වීමට මේ කාන්තාවන්ට  බැරිය. මොන දුකක් හෝ විඳගෙන ඉන්නවා හැරෙන්නට කිසිවක් නැත. මේ අය විදේශගත වෙන්නේ තම අනාගතය වෙනුවෙනි. සඳමාලි හරහා ඕමාන් ගිය අය තමන්ට වූ කරදර සඳමාලිට කියූ විට ඇය පවසන්නේ නැවත ලංකාවට ගෙන ඒමට නම් වියදම් වූ මුදල ලෙස රුපියල් ලක්ෂ තුනහමාරක් ඒජන්සියට ගෙවන ලෙසය. තමන්ට එකවර එපමණ මුදලක් ගෙවීමට නැතිවිට  මේ අය මාස  හයක් මොන දුකක් හෝ වි¼දගෙන මේ රැකියාව  කළ යුතුය. ඒ මේ අය අස්සන් කළා යැයි කියන ගිවිසුමකට අනුවය. නිමන්තිකාට මේ ගැන කියූ විට ඇය මුලින්ම අසරණ  වූ කාන්තාවන්ව බිය ගන්වයි. “උඹලා පොලිසි ගියොත් පවුලේ ඔක්කොම මරනවා කියාය. තමන්ට පාතාලයේ සහාය තිබෙන බවත් ඕමානයේ සිට මුදල් වියදම් කර පවුල් පිටින් විනාශ කළ හැකි යැයි  කියා තර්ජනය කරන බවටද වාර්තාවේ

ඉන්පසු නිමන්තිකා මේ කාන්තාවන් තම ඒජන්සිය වෙත ගෙන්වා ගන්නේ වෙන කරන්න දෙයක් නැතැයි කියාය. එසේ ගෙනැවිත් තවත් කිහිප දෙනකුට මේ කාන්තාවන් විකිණීමට නිමන්තිකා  කටයුතු  කරයි. නිමන්තිකාට තැරැව්කාරයන් කිහිප දෙනකු සිටියි. ඇය විසින් සඳමාලිට දැමූ මුදල්වලට අමතරව ජනවාරි 15දා ප.ව.19.01ට මොහොමඩ් අන්සාරින් මොහොමඩ් ෆහීම් යන අයකුට රුපියල් 415,452.00 ක මුදලක් දමා ඇත්තේ ලංකාවෙන් යවන ලද කාන්තාවන් සඳහා බවටද මේ වනවිට අනාවරණය වී තිබෙන බවට වාර්තාවේ. මීට අමතරව එස්.පී. ක්‍රිශාන්ත යන අයකුට රුපියල් 446,034.00ක මුදලක්  දමා ඇත්තේද එදිනමය.

මෙම ජාවාරමේ තවත් හොරයක් සිදු වෙයි. සාමාන්‍යයෙන් මැදපෙරදිග  රටවලට යන අයට රතු පාට සීල් එක ගසන්නේ ගෘහසේවිකා රැකියා සඳහා වසර 2-3 යන අයකුටය. එයද ගහන්නේ ඒ අය අතින් හොරකමක්, වංචාවක් හෝ වෙනත්  බරපතළ  වරදක් වූ විටය. එහෙත් සංචාරක වීසා මඟින් විදේශගත වූ අයට රතු සීල් එක ගහන්නේ නැත. ඒ අය එම රටවලට යන්නේ මාස තුනක කාලයක් සඳහා පමණි. එසේනම් නිමන්තිකාලා කරන මිනිස් ජාවාරම  ඇතුළේ සංචාරක  වීසාවලින් යන අයටද රතු සීල් එක ගසයි. එය කරන්නේද මේ අයගේ ජාවාරම හෙළිවෙයි යන බියට බවද කියැවෙයි.

මැදපෙරදිග රටවල සිදුවන මේ  ලිංගික  මිනිස් ජාවාරම  කිරීමට හේතුවක් වී ඇත්තේ  මුස්ලිම් අය තිබෙන විවාහයට අමතරව වෙනත් විවාහයක් කරගත් විට දේපොළ බෙදීයෑමේ අවදානම අඩු කර ගැනීමට යැයි මේ ගැන රටට තොරතුරු හෙළි කරමින් මීට එරෙහිව නීතිමය පියවර ගැනීමට පෙළ ගැසී ඇති දකුණු  ආසියානු කාන්තා නායකත්ව  සංවිධානය කියයි. ඔවුන් මේ ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ලම දැනුවත් කර ඇති අතර මේ සඳහා හවුල් සියලු දෙනා වෙනුවෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද එම සංවිධානයේ නියෝජිතයෝ පවසති.

අදාළ ඕමාන් ඒජන්සිය ගැන ඕමානයේ  ලංකාවේ තානාපති කාර්යාලයේ  කලා රෂියා නම් නිලධාරිනිය දැනුවත් කිරීමට පීඩාවට පත්  කාන්තාවන් කටයුතු  කර ඇත. එහිදී කලා රෂියා මේ අයට වූ සියලු බලපෑම් වීඩියෝ කර ලබාගෙන සුරංග යන අයෙක් ලවා සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදා හැර ඇති බවටද තොරතුරු තිබේ. මේ නිසා අදාළ කාන්තාවන් තව තවත් කරදරයට හා පීඩාවට පත්ව ඇත.

නිමන්තිකාලාගේ මිනිස් ජාවාරම නිසා ලංකාවේ කාන්තාවන් 80කට වඩා   ඕමාන්වල අපා දුක් විඳිමින්  සිටින බවට තොරතුරු තිබේ. මීට අමතරව ඩුබායිවල තවත් 50ක් පමණ සිටින බවටද මේ වනවිට සොයා ගෙන ඇත. මැදපෙරදිග අනෙක් රටවලද මේ ඉරණමට ගොදුරු වූ ලාංකේය කාන්තාවන් තවත් සිටින බවටද තොරතුරු තිබේ. ජාලයක් මෙන් ක්‍රියාත්මක වන මේ ලිංගික මිනිස්  ජාවාරම නතර කරලීමට මේ රටේ බලධාරීන් ක්‍රියාකළ යුතුය.

දැනගන්නට තිබෙන ආකාරයට. මහියංගණයේ විදේශ රැකියා ආයතනයෙන් විදේශගත වූ අයකුගේ පවුලේ අය එම ආයතනයට  විරුද්ධව මහියංගණය පොලිසියටද පැමිණිල්ලක් කර ඇත. මේ වනවිට එම ආයතනය අගතියට පත් පාර්ශ්වයට බලපෑම් කරමින් කියා සිටින්නේ ඉල්ලන ගාණක් දෙන්නම් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න ලෙසය. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ ගැනද විමසිල්ලෙන් සිටින බවද  දකුණු ආසියානු කාන්තා නායකත්ව සංගමය කියා සිටියි. මේ ආකාරයට කිසියම් කාන්තාවක් විදේශගත වී මේ ජාවාරමට හසුව අසරණ  වී ඇත්නම් තම ආයතනය වෙත වහාම දැනුම් දෙන ලෙසද එම ආයතනය කියා සිටියි.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top