ඉදිරි දශකයේ දරු උප්පත්තිය අවධානනමක - දරුවන්ට වෙනදේ මෙන්න
Sunday, 02 February 2020 - 15:59 | Views - 3,530

ගෝලීය උෂ්ණත්වයේ බලපෑම නිසා ගර්භණී මවුවරුන්ගේ දරු ප්‍රසූති නියමිත කාලයට දෙසතියකට පමණ කලින් සිදුවන බවත් එය අලුත උපන් බිලිඳුන් කෙරෙහිද අහිතකර සේ බලපාන බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයන් පිරිසක් දරු උපත් හා කාලගුණය සම්බන්ධයෙන් පැවැත්වූ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 90ට (සෙල්සියස් 32) වැඩි දිනවල සිදුවන දරු උපත් අනුපාතය අනෙක් දිනවල එම අනුපාතයට වඩා සියයට 5කින් වැඩි බවද මේ අධ්‍යයනයේදී තහවුරු විය. අධික උෂ්ණත්වයේ බලපෑම නිසා ගර්භණී මවුවරුන්ගේ හෝමෝනවල සිදුවන වෙනස්කම් හේතුකොට ගෙන නියමිත දිනට කලින් විළිරුදා ඇති වේ යැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. නියමිත කාලයට කලින් බිහිවන - නොමේරූ - දරුවන්ගේ උපත් බර අඩුවෙයි. ශාරීරික වර්ධනය මන්දගාමී වෙයි. ඔවුන් සෞඛ්‍ය ගැටලුවලට ලක් වීමේ ප්‍රවණතාව වැඩි වෙයි. ඉදිරි කාලයේදී උණුසුම් වායු තරංග ප්‍රසාරණය වැඩි වන හෙයින් එයින් භට ගන්නා ගැටලු ද වඩා උග්‍ර තත්ත්වයකට පත්වෙතැයි මෙම අධ්‍යයනයෙහි යෙදුණු විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. 

ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිස 1969 සිට 1988 දක්වා අවුරුදු දහනවය තුළ දරු උපත් මිලියන 56කට වැඩි ගණනක දත්ත අධ්‍යයනය කළහ. උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 90 සෙල්සියස් අංශක 32.2 හෝ ඊට වැඩි කාලවල බොහෝ ගර්භණී මවුවරුන්ගේ නියමිත ගැබ්බර සමය ඉතා පැහැදිලි ලෙසම අඩුවුණු බව මෙම අධ්‍යයනයේදී විද්‍යාඥයන්ට තහවුරු විය. අධික කාබන්ඩයෝක්සයිඩ් සාන්ද්‍රණයක් සහිත උණුසුම් වායු තරංග වායුගෝලය තුළ ප්‍රසාරණය වීම නිසා ගෝලීය උෂ්ණත්ව වර්ධනය වීම නිතර සිදුවන්නක් බවට පත්වනු ඇත. තම අධ්‍යයනයෙන් තහවුරු වී ඇති පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයෙහි වසරකට අවම වශයෙන් උපත් 25,000කට අදාළ ගර්භණී මවුවරුන්ගේ නියමිත ගැබ්බර කාලය අඩුවේ යැයි මෙම අධ්‍යයනය කළ විද්‍යාඥ කණ්ඩායමේ නායක මහාචාර්ය ඇලන් බැරෙකා ප්‍රකාශ කළේය. 

සමහර බිලිඳුන් බිහිවීමට නියමිත දිනට දින හයක් පමණ කලින් උපත ලබන අතර සමහර ගර්භණී කාන්තාවන්ගේ නියමිත ප්‍රසූති දිනය සති දෙකකින් පමණ කෙටි වන අවස්ථාද දක්නට ලැබේ. මෙම විද්‍යාඥයන්ගේ අධ්‍යයනය මෙයින් වසර 30කට පමණ පෙර අවසන් වී ඇති අතර මේ වනවිට ගෝලීය උෂ්ණත්වයේ මෙම බලපෑම පෙර පැවැතියාටද වඩා බෙහෙවින් උග්‍ර වී ඇතැයි ඔවුහු ලන්ඩනයේ කිංග්ස් කොලෙජ්හි ප්‍රසවවේදය පිළිබඳ මහාචාර්ය ඇන්ඩෘ ශෙනන් මෙම අධ්‍යයනයට සහභාගි නොවූ නමුත් මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙන කරුණු ඉතාම වැදගත් බව සඳහන් කරන අතරම කාන්තාවන් දරුවන් බිහි කරන්නේ මක් නිසාද යන්න මෙම විද්‍යාඥයන්ගේ සැලකිල්ලට භාජන වී නැතැයිද ප්‍රකාශ කරයි. 

උපත නිසා ජීවිතාන්තය දක්වා පවතින ශාරීරික හා වර්ධනය පිළිබඳ ගැටලු ඇති විය හැකිය

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි එක් එක් වසරේ උපදින දරුවන්ගෙන් සියයට 10ක් පමණ නොමේරූ දරුවෝය. බිලිඳකු නොමේරූවකු වශයෙන් සැලකෙන්නේ ඔහු හෝ ඇය බිහිවීමට නියමිත කාලයට අවම වශයෙන් සති තුනකට කලින් හෝ මවගේ ගර්භාශය තුළ සති 37ක් නොගෙවා බිහිවුවහොත් පමණකි. නොමේරූ බිලිඳුන් ශාරීරික වර්ධනය පමණක් නොව මොළයේ ක්‍රියාකාරීත්වයද හීන වන අතර ඒ නිසාම හටගන්නා පෞද්ගලික චර්යා පිළිබඳ ගැටලුද අඩු වයසින් බිහිවන දරුවන් තුළ බොහෝ විට දක්නට ලැබේ. අවධාන හීනතාව, අක්‍රමවත් සක්‍රියතාව, ස්නායු පිළිබඳ ගැටලු, බිය හා ස්වෙච්ඡතාව හෙවත් බාහිර ලෝකය පිටු දැකීමේ කැමැත්ත යනාදියද අඩු වයසින් උපන් දරුවන් වැඩි වියට පත්වීමේදී පොදු වශයෙන් දක්නට ලැබෙන උෟනතාය. 

අලුත උපන් බිලිඳකුගේ සිරුරෙහි අන්තිමටම සම්පූර්ණයෙන් වර්ධනය වන ඉන්ද්‍රියවලින් එකක් පෙණහල්ලය. එහි වර්ධනය ආරම්භ වන්නේ බිලිඳකු ඉපදී සති 32කට පසුවය. එහෙයින් අඩු වයසින් උපදින දරුවෝ ඇදුම රෝගයටත් පෙණහලු හා සම්බන්ධ වෙනත් රෝගවලටත් නිතර ගොදුරු වෙති. වැඩිහිටි වියේදී ඔවුහු ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ආබාධවලට මෙන්ම ආසාදනවලටද භාජන වෙති. 2015 වර්ෂය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ළදරු මරණ අනුපාතය වැඩි වීමටද නොමේරූ දරුවන් බිහිවීම හේතුවක් විය. එම වසර තුළ එහි ළදරු මරණ අනුපාතය සියයට 17කින් වැඩිවිය. 

මහා බි්‍රතාන්‍යයේදී නොමේරූ දරු උපත් සංඛ්‍යාව වැඩිවී තිබේ. ටොමීස් නමැති පුණ්‍යායතනය ප්‍රකාශ කරන පරිදි සෑම වසරකදීම එහි නොමේරූ දරු උපත් 60,000ක් පමණ සිදුවෙයි. ලෝකයේ හැම දරු උපත් දහයකින් එකක් නියමිත දිනයට කලින් සිදුවන්නකි. එවැනි දරුවන්ගේ ගණන මිලියන 15ක් පමණ වෙයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් නිරෝගීව වැඩී වැඩිහිටියන් බවට පත්වන නමුත් සමහරු ප්‍රසූතියේදී හෝ ඉන්පසු කෙටි කාලයක් තුළ හෝ ඇති වන නොයෙක් සංකීර්ණතා පිළිබඳව අවදානම හේතු කොට ගෙන හුස්ම ගැනීමේ අපහසුතා හෘදයාබාධ සහ මොළයේ ලේ ගැලීම් යනාදී ආබාධ නිසා ඉතා දැඩි සත්කාර අත්‍යවශ්‍ය වන තත්ත්වයට පත්වෙති. “මායෝ”  නමැති වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරදි අඩු වයසින් උපදින බිලින්දෝ මොළයට හානි සිදුකරන “සෙරෙබ්‍රල් පැල්සි“  නමැති රෝගයටත් දෘශ්‍ය හා ශ්‍රව්‍ය ආබාධවලටත් උගෙනීමේ අපහසුතාවලට හෝ ඇදුම රෝගයටත් ගොදුරු වෙති. 

උෂ්ණ කාලගුණය නිසා ගර්භණී මවුවරුන්ගේ ගර්භාශයේ මාංස පේශී සංකෝචනය වේගවත් වීම නිසා බිලි¼දා පිටතට තල්ලු වීම හේතුකොට ගෙන ප්‍රසූතිය කඩිනම් වේ යැයි මහාචාර්ය බැරෙකාත් ඔහුගේ සගයෝත් ප්‍රකාශ කරති. තමන්ගේ අධ්‍යයනය විශේෂයෙන්ම ඉතා අධික උෂ්ණත්වයක් පැවැති කාලවල ගර්භණී භාවයට පත්ව දරුවන් බිහි කළ මවුවරුන් සම්බන්ධයෙන් ඉතා පුළුල් මට්ටමෙන් ක්‍රියාත්මක කළ හෙයින් අධ්‍යයනයේ උසස් ප්‍රතිඵල ලබාගැනීමට තමන්ට හැකි විණැයි කියන මහාචාර්ය බැරෙකා ප්‍රධාන පිරිස වායු සමීකරණය දරු උපත්  ඉක්මන් වීම වළක්වා ගැනීමේ ඵලදායක පිළියමක් බවද ප්‍රකාශ කරති. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල “නේචර් ක්ලයිමට් චේන්ජ්”  සඟරාවෙහි පළ විය. 

බොහෝ දරුවන්ගේ ශරීර හා ප්‍රතිශක්ති පද්ධති තවමත් රෝගවලට හා පරිසර දූෂණයට ඔරොත්තු දෙන තත්ත්වයෙන් පවතිනවා විය හැකි නමුත් මානව සංහතියේ මනා පැවැත්මට හා ආයු අපේක්ෂාවට ඉඩ සැලසෙන පරිදි හරිතාගාර වායු විමෝචනය අඩුකරගැනීමට සියලු රටවල් ක්ෂණිකව ක්‍රියාත්මක නොවුණහොත් කාලගුණ විපර්යාස සමස්ත මානව සංහතියේ මෙන්ම අනාගත පරම්පරාවලද සෞඛ්‍යය කෙබඳු විය යුතුද යන්න තීරණය කරන එකම සාධකය බවට පත්වනු නිසැකය. 

කාලගුණ විපර්යාස හදවත් ආබාධ සහිත දරු උපත් වැඩි වීමට හේතුවක් ගර්භණී කාන්තාවන් අසාමාන්‍ය සේ අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ඇගේ අභ්‍යන්තර ඉන්ද්‍රියවලට සිදුවන හානි කුස තුළ බිලිඳුන් කෙරෙහිද බලපාන හෙයින් මාරාන්තික හදවත් ආබාධ ඇතිව උපදින දරුවන් ගණන වැඩිවන බව නිව්යෝර්ක්හි ඇල්බනි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ ඔවුන්ගේ අධ්‍යයනයක ප්‍රතිඵල අනුව ප්‍රකාශ කරති. 2025 - 2035 අතර දස අවුරුදු කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඒකාබද්ධ ජනගහනය මිලියන 110 ක් පමණ වන ජනපද අටක, හෘදයාබාධ සහිත දරු උපත් 7000ක් පමණ සිදුවිය හැකි බවද අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී ගොස් ඇත. එය සමස්ත ලෝක ජනගහන මට්ටමෙන් ගණනය කැරුණු විට ජන්මයෙන්ම උරුම කරගත් හෘදයාබාධ ඇතිව වසරකට උපදින දරුවන් ගණන 40,000ක් පමණ වෙයි. තම අධ්‍යයනය සඳහා විද්‍යාඥයෝ. අෆර්කන්සාස්, ලෝවා, ටෙක්සාස්, කැලිෆෝනියා, නිව්යෝර්ක්, උතුරු කැරොලිනා, උෟධා සහ ජෝර්ජියා යන ජනපදවලින් අදාළ දත්ත ලබාගත්හ. 

මවු කුස තුළ සිටින බිලිඳකුට හෘදයාබාධ හට ගන්වන තරමට පාරිසරික උෂ්ණත්වය බලපාන්නේ කෙසේද යන්න මෙම විද්‍යාඥයන් නිශ්චිතව නොදන්නා නමුත් සතුන් විෂයෙහි පැවැත්වුණු අධ්‍යයනවලින් තහවුරු වී ඇත්තේ දරු කලලය අධික බාහිර උෂ්ණත්වයට ලක්වූ විට කලලයේ මනා වර්ධනය සඳහා අත්‍යවශ්‍ය මාතෘ සයිල මැරී යෑම හෝ ඒවාට හානි සිදුවීම හදවත් ආබාධ සහිත දරු උපත්වලට හේතුවන බවය. 

මෙම අධ්‍යයනය පිළිබඳ විස්තර සහ එහි ප්‍රතිඵල “ඇමෙරිකා හදවත් සංගමය”එහි ඉංගී්‍රසි නාමයට අයත් වචනවල මුලකුරුවලින් යුත් බ්ඒඩ්ඒ නමැති ප්‍රකාශනයෙහි පළ විය. 

ප්‍රේමචන්ද්‍ර අල්විස්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top